Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින්ගේ වාර්ෂික වාර්තාගත වීම ඉහළ යන බව සෞඛ්‍ය අංශ...

ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින්ගේ වාර්ෂික වාර්තාගත වීම ඉහළ යන බව සෞඛ්‍ය අංශ පවසයි

ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් පවතින බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි.

අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

විශේෂඥ වෛද්‍යවරියට අනුව, 2023 වසරෙන් පසු HIV ආසාදිතයින්ගේ වාර්ෂික වාර්තාගත වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, එම ආසාදිතයින් අතර පිරිමි පාර්ශ්වයේ ප්‍රතිශතය කාන්තාවන්ට වඩා වැඩි මට්ටමක පවතී.

HIV ආසාදනය පැතිරීම සඳහා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ප්‍රධාන අවදානම් සාධකයක් වන අතර, මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී සිරින්ජර්, එන්නත්කටු සහ වෙනත් උපකරණ හවුලේ භාවිත කිරීමද රෝගය සම්ප්‍රේෂණය වීමට හේතු විය හැකි බව ඇය පැහැදිලි කළාය.

එමෙන්ම, HIV සඳහා සම්පූර්ණ සුවයක් දැනට නොමැති බැවින්, ආසාදිත පුද්ගලයින්ට දිගුකාලීන වෛද්‍ය අධීක්ෂණය සහ නිරන්තර ප්‍රතිකාර අවශ්‍ය වන බවද ඇය සඳහන් කළාය. විශේෂයෙන්ම අඩු වයසින් ආසාදනය වූ පුද්ගලයින්ට ජීවිත කාලය පුරා ප්‍රතිකාර හා ඖෂධ ලබාගැනීම වැදගත් බවද ඇය පෙන්වා දුන්නාය.

මේ අතර, HIV, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) සහ හෙපටයිටිස් ඇතුළු ආසාදන කල්තියා හඳුනාගෙන ඒවා පාලනය කිරීමේ අරමුණින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් ජංගම සායන වැඩසටහනක් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කර තිබේ.

මෙම නියමු වැඩසටහන 2026 ජනවාරි මාසයේ ආරම්භ කර ඇති අතර, අවදානම් කණ්ඩායම් වෙත ප්‍රවේශ වී නොමිලේ පරීක්ෂණ, උපදේශන සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සැලසුම් කර ඇත. එහිදී සේවාව ලබාගන්නා පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය සහ පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ HIV වාර්තාගත වීම තවමත් සාපේක්ෂව පහළ මට්ටමක පැවතියද, සෑම වසරකම නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම, වැඩි ජනගහනයක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම ද ඒ සඳහා බලපාන සාධකයක් බවද ඇය සඳහන් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments