අමෙරිකාව විසින් ඉරානයට නව නාවික අවහිරතාවක් පැනවීම සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය සිදුකළ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.19 දක්වා ඉහළ ගොස් ඇති අතර, WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.40ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම මිල ගණන් ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගයන් ලෙස සැලකෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින යුදමය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට ඇතිවිය හැකි බාධා පිළිබඳ අවිනිශ්චිතතාවය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
ලෝකයේ බොරතෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන බැවින්, එම මුහුදු මාර්ගයේ සිදුවන ඕනෑම බාධාවක් ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

