අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
යුද හමුදාව විසින් ඔහුට නිකුත් කර තිබූ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ ගිනිඅවිය, යුද හමුදාව විසින් හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා නීත්‍යානුකූලව නිකුත් කළ පිස්තෝල වර්ගයකි. එය 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී අනාවරණය වූ සිද්ධියකට අදාළව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
පසුව එම ගිනිඅවිය වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයාගත් බවද වාර්තා වේ.
ඒ අනුව, අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

