Homeසියලුම පුවත්වාහන ආනයන සීමා වෙළෙඳපොළට අහිතකර විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

වාහන ආනයන සීමා වෙළෙඳපොළට අහිතකර විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා වෙළෙඳපොළේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ හැකි අතර, එමඟින් වෙළෙඳපොළ තුළ අනපේක්ෂිත සංකූලතා මතුවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මේ වන විට රටේ වාහන සඳහා පැවති ඉහළ ඉල්ලුම සැලකිය යුතු මට්ටමකට සපුරා ඇති අතර, ආනයනකරුවන් ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා තිබීම හේතුවෙන් නව වාහන ලියාපදිංචි කිරීමේ වේගය ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි.

ඒ හේතුවෙන් වාහන ආනයනයෙන් රජයට ලැබෙන බදු ආදායම පසුගිය වසරේ වාර්තා වූ මට්ටමට ළඟා නොවනු ඇතැයි ඔහුගේ ඇස්තමේන්තුව වේ.

ලබන අගෝස්තු 15 වැනිදායින් පසු වාහන ආනයන සම්බන්ධ ප්‍රතිපත්තිය දීර්ඝ කරන්නේද, නැද්ද යන්න පිළිබඳ රජය ගන්නා තීරණය වෙළෙඳපොළේ ඉදිරි දිශාවට සෘජු බලපෑමක් ඇති කරන බවද ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති එකඟතා හේතුවෙන් නව අධිභාර පැනවීමේ ඉඩකඩ සීමා වී ඇති බවත්, එහෙත් දැනට පවතින අධිභාර හදිසියේ ඉවත් කළහොත් වාහන ආනයනය සඳහා ඉල්ලුම එකවර ඉහළ යාමෙන් වෙළෙඳපොළ තුළ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද, වාහන සඳහා දැනටමත් සියයට 150 සිට සියයට 200 දක්වා ඉහළ තීරුබදු අය කෙරෙන බැවින්, තවත් බදු බර වැඩි කිරීම සාධාරණ නොවන බවද ඔහුගේ අදහස විය.

රජය ආදායම් ඉහළ නැංවීමට පමණක් නොව රාජ්‍ය වියදම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටද සමාන අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළ ධනනාත් ප්‍රනාන්දු මහතා, ආර්ථික වර්ධනයට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් බදු ආදායම තිරසාර ලෙස වැඩි කර ගැනීමටත්, වෙළෙඳපොළට ධනාත්මක ආර්ථික සංඥාවක් ලබාදීමටත් හැකි වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments