‘එල් නිනෝ’ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ උෂ්ණත්වය ඉහළ යාමත්, වැසි තත්ත්වය අඩුවීමත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ මෙම තත්ත්වය ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් දක්වා පැවතිය හැකි අතර, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය එහි බලපෑම වැඩිම අවස්ථාව විය හැකි බවයි.
ජූලි අවසන් සහ අගෝස්තු මුල් දිනවල බස්නාහිර, සබරගමුව, වයඹ, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලට වැසි අපේක්ෂා කළද, උතුරු, උතුරු මැද, නැඟෙනහිර සහ හම්බන්තොට ප්‍රදේශවල උණුසුම් හා වියළි කාලගුණයක් පවතිනු ඇතැයි ද සඳහන් වේ.
ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, දහවල් 2.00 සිට සවස 4.00 දක්වා දැඩි හිරු රශ්මියෙන් වැළකී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.
එසේම අගෝස්තු සහ සැප්තැම්බර් මුලදී වැසි අඩුවීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යා හැකි බැවින් ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.
ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාත හෝ සුළි කුණාටු ඇති වුවහොත් සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබිය හැකි අතර, දෙසැම්බර් මාසයේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල ගංවතුර අවදානමක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

