Homeසියලුම පුවත්නිල්වලා ගඟ ඉහළ යයි - මාතර මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

නිල්වලා ගඟ ඉහළ යයි – මාතර මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග සහ පහත්බිම් ජලයෙන් යටවී ඇත.

අකුරැස්ස – සියඹලාගොඩ – පස්ගොඩ මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය ගංවතුරට යටවීමත් සමඟ එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

මේ හේතුවෙන් ජනතාව විකල්ප මාර්ග භාවිත කළද, එම මාර්ගවල විශාල වලවල් හෑරී තිබීම හේතුවෙන් ගමනාගමනය දැඩි ලෙස දුෂ්කර වී ඇත.

අකුරැස්ස – මාරගොඩ මාර්ගය ද විකල්ප මාර්ගයක් ලෙස භාවිත කෙරුණද, මේ වනවිට එහි කොටස් කිහිපයක්ද ජලයෙන් යටවෙමින් පවතී.

එමෙන්ම මොරවක – නෙළුව මාර්ගයේ පහත්බිම් ප්‍රදේශද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ අතර, නිල්වලා ගඟේ ඉවුරුවල තිබූ විශාල උණ පඳුරු ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන ආකාරයද දක්නට ලැබී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් තුළද බියක් හටගෙන තිබේ.

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ගංවතුරට යටවන අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ කොටස මෙවර එවැනි තත්ත්වයකට පත්ව නොතිබීම විශේෂත්වයකි.

අතුරලිය ප්‍රාදේශීය සභා සභාපති නුවන් රත්නායක මහතා විසින් ගංවතුර තත්ත්වය හමුවේ කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔරුවක්ද සූදානම් කර තිබේ.

මේ අතර, නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

මාතර දිස්ත්‍රික්කයට විටින් විට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර, ඒ හේතුවෙන් ජන ජීවිතයට එල්ල වන බලපෑම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

පවතින තත්ත්වය හමුවේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රාදේශීය සභාවල සේවක මණ්ඩලය ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments