බෙංගාල බොක්කෙ වර්ධනය වෙමින් පවතින ‘ARNAB’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 9.30ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු බව සඳහන් වේ.බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම ප්රදේශයේ සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු කලාපයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි.මෙම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, අද රාත්රී 11.30 පමණ වන විට තවදුරටත් තීව්ර වීමේ හැකියාවක් ද පවතී.අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ළඟා විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ හැකියාව ද පවතී.ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් නැවත දැනුම් දෙන තුරු වළකින ලෙස උපදෙස් දී ඇත.දැනටමත් එම මුහුදු කලාපවල සිටින ධීවරයන් සහ නාවිකයන් හැකි ඉක්මනින් ආරක්ෂිත ප්රදේශ වෙත යොමුවන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දී තිබේ.ජීවිත ආරක්ෂාවට ප්රමුඛත්වය දෙමින් බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් වේ.

