අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර නව යෝජනාද ඇතුළත් කරමින් එහි කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබේ.
ඒ, ඊයේ (29) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර් 28 සිට 38 දක්වා පුළුල් කිරීමට නියමිතය.
සංවර්ධන සැලැස්ම යටතේ පූජා නගරය තුළ ඩීසල් වාහන සීමා කර විද්‍යුත් බස් රථ යොදාගනිමින් ක්‍රමවත් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.
එමෙන්ම බැතිමතුන් සඳහා පදික හා පාපැදි මංතීරු, විවේක ස්ථාන ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.
පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොව, ජනතාව වන්දනාමාන කරන ජීවමාන ඓතිහාසික ස්ථාන ලෙස සලකා ඒවාට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටද අවධානය යොමු කර තිබේ.
ඇතුළු නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම්, නිවාස හෝ සාධාරණ වන්දි ලබාදීමේ විකල්ප ක්‍රමවේදයන් සකස් කිරීමටද සැලසුම් කර ඇත.
අදාළ සැලැස්ම ලබන මස 8 වනදා පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර, 15 වනදා වනවිට සම්පූර්ණ සැලැස්ම සකස් කර අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

