Homeසියලුම පුවත්'එල් නිනෝ' තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම අනාවරණයක්

‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම අනාවරණයක්

පැසිපික් සාගරය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික තත්ත්වය මේ වන විට දුර්වල මට්ටමක පැවතියද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය තවදුරටත් ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ, ගෝලීය කාලගුණ අනාවැකි අනුව මෙම දේශගුණික විපර්යාස තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක කාලගුණික රටාවන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර නිකුත් කළ ඇස්තමේන්තු අනුව, 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ ‘එල් නිනෝ’ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ සම්භාවිතාව සියයට 63ක් පමණ වන බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ, එය ඉතා ප්‍රබල මට්ටමකට නොපැමිණීමේ සම්භාවිතාවද තුනෙන් එකක් පමණ පවතින බවයි.

මෙරිල් මෙන්ඩිස් මහතාගේ ප්‍රකාශයට අනුව, මෙම තත්ත්වය හේතුවෙන් දැනට ක්‍රියාත්මක නිරිතදිග මෝසම් වැසිවල අඩුවීමක් ඇති විය හැකි අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් ද පවතී.

ඉදිරි කාලයේ ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව වගා කටයුතු, ජල විදුලි උත්පාදනය සහ පානීය ජල සැපයුම වැනි අත්‍යවශ්‍ය අංශ සඳහා ජලය සැලසුම්සහගතව භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.

මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, ‘එල් නිනෝ’ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා සියලු අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධ කර විශේෂ ක්‍රියාමාර්ග සැලැස්මක් ඉදිරි සති දෙක ඇතුළත සකස් කිරීමට රජය පියවර ගන්නා බවයි.

එමෙන්ම, ඉදිරි මහ කන්නයේ වගා කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කර දේශගුණික අවදානම් සඳහා සූදානම් වන ලෙසද අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments