කටුනායක ගුවන්තොටුපොළේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසිදෙදෙනා මෙහෙයවූ බවට සැක කරන ප්‍රධාන චීවරධාරියා මැයි 2 වනදා දක්වා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සැකකරු අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.
කඩවත, රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයට අයත් අගුණුකොලේ අමිතානන්ද නමැති මෙම චීවරධාරියා තායිලන්තයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළේදී භාරගැනීමට සූදානමින් සිට ඇති බව වාර්තා වේ.
චීවරධාරීන් විසිදෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර, ඊයේ (26) පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍ය වාර්තා අනුව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද සැකකරු මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව හෙළි වී තිබේ.
අදාළ චීවරධාරීන් තායිලන්තයට යැවීම හා ඔවුන් අතර සම්බන්ධතා පවත්වාගැනීමට භාවිත කළ WhatsApp ගිණුම මෙහෙයවීම ද මෙම සැකකරු විසින් සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
රුපියල් කෝටි 110කට අධික වටිනාකමක් ඇති “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 112ක් ගමන් මළුවල සඟවා මෙරටට ගෙන එන ලද බවද හෙළි වී ඇත.
චීවරධාරීන් මෙහෙයවූ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

