කැරිබියානු කලාපයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඩොමිනිකන් ජනරජයේ බයාහිබේ වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
එම ගින්නෙන් 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, හෝටලයේ රැඳී සිටි සංචාරකයන් 1,700කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ලොව පුරා හෝටල් 8,400කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන වින්ඩ්හැම් හෝටල් ජාලයට අයත් හෝටලයක මෙම ගින්න හටගෙන ඇති අතර, ඒ අසල පිහිටි තවත් හෝටලයකට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළ දර්ශනවලට අනුව, ගින්න හේතුවෙන් අඳුරු දුමාරය වෙරළ තීරය පුරා පැතිර ගොස් තිබූ අතර, පිදුරු සහ තල්කොළවලින් සෙවිලි කළ වහල සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබුණි.
බලධාරීන් පවසන්නේ, දැවෙන සුළු වහල කොටස් සහ එම අවස්ථාවේ පැවති තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර ගිය බවයි.
ගිනි නිවන කණ්ඩායම්වල දැඩි උත්සාහයෙන් මේ වන විට ගින්න පාලනය කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක දැවැන්ත ගින්නක්

