ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්නයි.
ලෝක ළමා දිනය වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත්කර තිබුණි.
එම සතිය තුළ දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ අතර, එහි අවසන් වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
දරුවන්ගේ අනාගත ලෝකය රැකගැනීම සඳහා දෙමව්පියන් කැපවී කටයුතු කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ලෝක ළමා දිනය වෙනුවෙන් අදහස් දක්වමින් සඳහන් කළාය.
එමෙන්ම දරුවන් වෙනුවෙන් දෙමව්පියන් දිනකට පමණක් සීමා නොවී නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.
මේ අතර ලෝක ළමා දිනයට සමගාමීව අද දිනයේ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේ, දරුවන් වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයේදී අද විශේෂ වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කර ඇති බවය.

