ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “චිර ජීවන යුගය – දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම ගැන නැවත සිතමු” යන්නයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය සහ සුබසාධනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන් සඳහා වූ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ශිරෝමී මාධවගේ මහත්මිය සඳහන් කළාය.
මේ අතර අග්‍රාමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රටේ අභිවෘද්ධිය සහ සමෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයේ වටිනාම කාලය සහ ශ්‍රමය කැප කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත සිය සුබපැතුම් පිරිනමන බවයි.
සමාජයේ වැදගත් අත්තිවාරමක් වන ජ්‍යෙෂ්ඨ ප්‍රජාව සතු ප්‍රඥාව, අත්දැකීම් සහ මාර්ගෝපදේශනය රටේ අනාගතයට වැදගත් සම්පතක් බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබේ.
වැඩිහිටි ප්‍රජාවගේ මානව අයිතිවාසිකම්, ස්වාධීනත්වය සහ සමාජීය ගෞරවය සුරක්ෂිත කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මාසික වැඩිහිටි දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීම සහ තැන්පතු සඳහා වූ අතිරේක පොලී හිඟ මුදල් පියවීම ඇතුළු පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.
එමෙන්ම නව ජාතික වැඩිහිටි ප්‍රතිපත්තිය හඳුන්වාදීම, වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම, වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම සහ වෘත්තීය මට්ටමේ සත්කාරක සේවා බලකායක් බිහිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද ඇය පෙන්වා දී ඇත.
‘ආරෝග්‍යා’ සහ ‘සුවපහසු’ වැඩසටහන් හරහා සෞඛ්‍ය පහසුකම් සැපයීම මෙන්ම වැඩිහිටියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව සහ සයිබර් සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
වයස අවුරුදු 60ට වැඩි ජනතාව සක්‍රිය ආර්ථික පාර්ශ්වකරුවන් ලෙස සංවර්ධන ක්‍රියාවලියට එක් කර ගැනීමේ “රජත ආර්ථික” (Silver Economy) ප්රතිපත්තියද ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
“`0

