Homeසියලුම පුවත්එයාර්බස් ගනුදෙනුවේ චෝදනා මත නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

එයාර්බස් ගනුදෙනුවේ චෝදනා මත නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයක සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

ඔවුන් සඳහන් කළේ එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී ලැබුණු බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් සිංගප්පූරුවේ පිහිටි ‘බිස් සොලියුෂන්’ සමාගමේ බැංකු ගිණුමකට ලැබී ඇති බවයි.

එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ඔස්ට්‍රේලියාවේ සිටින හිටපු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බැංකු ගිණුමකට යොමු කර ඇති බවත්, තවත් රුපියල් මිලියන 25ක් සිංගප්පූරුවේ පිහිටි ‘SL Agro’ සමාගමකට යොමු වී පසුව එම මුදල නඩුවේ තවත් සැකකරුවෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට බැර වී ඇති බවත් අධිකරණයට දැනුම් දෙන ලදී.

එමෙන්ම අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ඔස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා මහතාට අයත් ‘Saver Vision’ සමාගමේ ගිණුමට බැර වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එම මුදලින් රුපියල් මිලියන 100ක් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට නිමල් පෙරේරා මහතා අල්ලස් කොමිසමට ලබාදුන් ප්‍රකාශයකින් සහ දිවුරුම් ප්‍රකාශයකින් සඳහන් කර ඇති බවද අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් එයාර්බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී ඇති බවත්, වෝහාරික විගණන වාර්තා ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එම වාර්තාවල ඇතුළත් ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමේදී නාමල් රාජපක්ෂ මහතා සහ එයාර්බස් සමාගමේ නිලධාරීන් අතර සම්බන්ධතා පැවති ආකාරය පැහැදිලි වන බවද ඔහු කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ඔහු ඇප මත මුදාහැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවට අවධානය යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඔහු සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පලා යාමට හෝ අධිකරණය මගහැරීමට කටයුතු කරන පුද්ගලයෙකු නොවන බවත්, ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවත්ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියම කළ අතර, එතෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments