වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී රෝගීන් 2,652 දෙනෙකු වාර්තා වී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් 20,666ක් වාර්තා වී තිබේ.
මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 53ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය **0.07%**ක් ලෙස සටහන් වේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය මුළු රෝගීන්ගෙන් **52.61%**ක් (රෝගීන් 40,009ක්) වේ.
දකුණු පළාතෙන් රෝගීන් 11,707ක් (15.40%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් (8.46%) වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි රෝගීන් 15,910ක් වාර්තා වී තිබේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වන අතර, ඉන් 3,073ක් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,330ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 5,111ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 5,010ක් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් අවට පරිශ්‍ර පිරිසිදුව තබාගෙන, උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

