යල කන්නයට අදාළ වී මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු පළමු දින හතර තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මෙම වී තොගය මිලදී ගෙන ඇති බවයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව, මේ දක්වා වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු වී තොග මිලදී ගෙන තිබේ.
යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන පසුගිය 13 වැනිදා ආරම්භ කළ අතර, වැඩි අස්වැන්නක් ලැබෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි වී ගබඩා විවෘත කරමින් මෙම කටයුතු සිදුකරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.
රජය ප්‍රකාශයට පත් කළ මිල ගණන් අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට මිලදී ගැනීමට තීරණය කර තිබේ.
වර්තමානයේ දිවයින පුරා ස්ථාන 143ක පිහිටි වී ගබඩා මධ්‍යස්ථාන හරහා මෙම මිල ගණන් යටතේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

