Homeසියලුම පුවත්ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළට – ගංවතුර අවදානමක් තවමත් නැහැ

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළට – ගංවතුර අවදානමක් තවමත් නැහැ

දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යාමේ අවදානමක් නොපෙන්වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි.

ගිං ගඟේ පහළ ද්‍රෝණියේ බද්දේගම ආසන්න ප්‍රදේශ කිහිපයකින් මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.

කොළඹ ආසන්න ප්‍රදේශවලින්ද මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලින් මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

මීට අමතරව, අම්පාරේ ගල්ඔය ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද, මඩකළපුවෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, බොහෝ ගංගාවල ජල මට්ටම්වල සීඝ්‍ර ඉහළ යාමක් මේ වනවිට දක්නට නොමැති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

තෙත් කලාපයේ ගිං, නිල්වලා සහ කළු ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට ඒවා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැත.

කෙසේ වෙතත්, එම ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ දිනවල ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාව වැඩි වීම හේතුවෙන් කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවල ප්‍රදේශීය වශයෙන් පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බවද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments