මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, මේ වනවිට සමස්ත ඩෙංගු රෝගීන් 99,634ක් වාර්තා වී ඇති අතර මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වේ.
එම රෝගීන්ගෙන් 52.53%ක් එනම් 52,340ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 21,136කි. කොළඹින් රෝගීන් 19,569ක්, මහනුවරින් 7,547ක්, කළුතරින් 6,339ක් සහ මාතරින් 6,273ක් වාර්තා වී තිබේ.
මාසික වශයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී 10,155ක් වාර්තා වී ඇත.
සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 4,144ක් වාර්තා වී තිබේ.
මේ අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

