ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් හිමිවනු ඇත.
ඒ අනුව IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති සමස්ත මූල්‍ය සහාය තවදුරටත් ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, මෙම එකඟතාව විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් වන අතර, 2027 අයවැය වැඩසටහනට අදාළ පරාමිතීන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම ඊට පෙර අවශ්‍ය වේ.
IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා සඳහන් කර ඇත්තේ, අඛණ්ඩ ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.
2026 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 4.2ක් වී ඇති අතර, එය අඛණ්ඩව වර්ධනය වාර්තා කළ 11 වැනි කාර්තුව බව IMF පවසයි. සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක් ලෙස වාර්තා වී ඇති අතර, අගෝස්තු අවසානය වනවිට දළ නිල විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, මැද පෙරදිග යුද්ධයේ තත්ත්වය, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයට අවදානම් තවදුරටත් පවතින බව IMF පෙන්වා දෙයි.
එම අවදානම් හමුවේ පිරිවැය ආවරණය වන බලශක්ති මිලකරණ ක්‍රමවේදය පවත්වාගෙන යාම, අවශ්‍ය අවස්ථාවල මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම්ව සිටීම, මධ්‍ය කාලීන ආදායම් උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීම සහ බදු පද්ධතියේ කාර්යක්ෂමතාව හා සාධාරණත්වය වැඩි කිරීම ඇතුළු ක්‍රියාමාර්ග අවශ්‍ය බව IMF සඳහන් කර ඇත.

