Saturday, April 27, 2024
Homeදේශීයබුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති

බුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති

සොම්බි (Zombie) යනු කිසිදු හැඟීම් දැනීම් නොමැති චරිතයකි. එවැනි චරිතයකට සහකම්පනයක් හෝ හදවතේ උනු වීමක් නැත. Zombie පුද්ගලයකු රටක ජනාධිපති වුවහොත් රටේ ජනයාට දෙවියන්ගේම පිහිටය.

රනිල් වික්‍රමසිංහ අයවැය කතාව ආරම්භ කරන්නේ බුදු දහමේ සූත්‍ර තුනක් උපුටා දක්වමිනි. එහෙත් ඔහුගේ ප්‍රකාශනය තුල තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. මේවා වැදි බණ වන්නේ එතනය.

රනිල් වික්‍රමසිංහගේ අයවැය යෝජනා හුදු “ප්‍රාර්ථනා ලැයිස්තුවක් (Wish List )” පමණක් බව නම් කිව යුතුය. මේවා කිසිදු යථාර්ථවාදී විශ්ලේෂණයක් මත පදනම්ව ඉදිරිපත් කරන යෝජනා නොවන බව රටේ ජනයාට තේරෙනවා ද කියා සැක සහිතය. අය නැති , වැය පමණක් ඇති රනිල් වික්‍රමසිංහගේ මනෝරාජික ලෝකය කිසි ලෙසක තාර්කික නොවනවා පමණක් නොව යථාර්ථවාදී වන්නේ ද නැත. එහෙයින්, මේවා ගැන කතා කිරීමද කාලය කා දැමීමකි. මෙය ජනාධිපති මැතිවරණය අරමුණු කරගෙන ඉදිරිපත් කරන හිස් ලියවිල්ලකි. රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය දන්නා යමෙක් ඔහු කෙරෙහී තවත් විශ්වාසය තබයි නම් “හිවලෙක්” කෙරෙහී විශ්වාසය තැබීම ඊට වඩා හොඳ බව නම් කිව යුතුය.

රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 13 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2024 අයවැයේ යෝජනා 85 ක් ඇත. ඉන් ඉතාමත් අනර්ථකාරී යෝජනාවක් වන්නේ රජයේ ප්‍රධාන බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව සතු කොටස් 20% ක් පෞද්ගලිකරණය කිරීමට යෝජනා කිරීමය. 20% ක කොටස් නිකුතුවකින් මෙය නවතින්නේ නැත. දෙවන වටයේ තවත් 20% කොටස් විකිණීම රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වී තිබෙන බවක් දැන ගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳ අයවැය කතාවේ සඳහන් නොකළ ද, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය තුල (SOE Restructuring Policy ) ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු රජය සතු තවත් විශේෂිත බැංකු කිහිපයක් විකිණීමට ලැයිස්තු ගත කොට ඇත. වැඩි විස්තර සඳහා: https://economynext.com/wp-content/uploads/2023/10/sri-lanka-SOE-policy-EN.pdf

රාජ්‍ය බැංකු කොටස් වෙළෙඳපොළ හරහා ගජමිතුරන්ට විකිණීමේ උත්සාහ ඔහු ආරම්භ කරන්නේ 2002 දී යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් ය. එය නැවත 2017 දීය යෝජනා කලේ ය. ඒ සියළු උස්සාහයන් ව්‍යාර්ථ විය. එය නැවත 2024 අයවැයේ යෝජනා කරන විට සජබේ හර්ෂ ද සිල්වා ඇතුළු කණ්ඩායම නැගූ ඝෝෂාවකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ “Why? we all proposed this in 2017, you supported this when you were in the UNP” (ඇයි ඔබලා එජාපයේ සිටින විට 2017 මේ යෝජනාව ගෙනාවේ) යනුවෙනි. මොවුන් දෙපිල තුන්පිල බෙදී සිටියද, ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ එකමය. ඔවුන් එයට කියන්නේ “සමාජ වෙළෙඳපොළ” ආර්ථික ක්‍රමය යනුවෙනි. එය නව ලිබරල්වාදයට යොදන තවත් සීනි තැවරූ වචනයකි. ඔවුන්ගේ සංකල්පය රජය සතු සියළු දේ විකුණා දමා “බෝඩ් රූම්”(Board Room ) එකට වී වෙන්නේ කුමක්ද කියා බලා සිටීමය. එවැනි ආර්ථික ක්‍රමයක අවසාන ප්‍රතිඵලය කුමක්ද කියා හොඳින් අවබෝධ කරගැනීමට ඔබට අවශ්‍ය නම් එයට හොඳම උදාහරණය ලංකාවට අද අත්වී තිබෙන ඛේදවාචකය නිවැරැදිව තේරුම් ගැනීමයි.

රජයේ බැංකු දෙක ප්‍රාග්ධනීකරණය කිරීම සඳහා 2024 අයවැයේ රුපියල් බිලියන 450 වෙන් කොට ඇත. මෙයින් රජය නොකියා කියන්නේ බැංකු වල ශේෂ පත්‍රයේ ප්‍රශ්න තිබෙන බවකි. බැංකු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීමට පෙර නැතහොත් විකිණීමට පෙර ශේෂ පත්‍රය නිරවුල් කල යුතුය. කඩා වැටීමට යන ව්‍යාපාරයක් කිසිවෙක් මිල දී නොගනී. රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව බිලියන 450 ක් යොදවා බැංකු වල කොටස් අලෙවි කොට පහසුවෙන්ම රුපියල් බිලියන 2.-3 ක් සොයා ගැනීමට ය. බොහෝ විට කළු සල්ලි කාරයන්ට මෙය කදිම අවස්ථාවකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, හිල්ටන් , හයට්, වෝටර්ස් එජ් වැනි හෝටල් අලෙවි කිරීමට දුෂ්කර බව පැහැදිලිය. එහෙත් බැංකු විකිණීම එතරම් අපහසු නැත. රනිල් වික්‍රමසිංහ ලංකා බැංකුවට සහ මහජන බැංකුවට කෙල හලන්නේ ඒ නිසාය. “ලබන ඔක්තෝබර් 17 වන දා යන රනිල් වෙන්දේසි යකා යන්නේ කොරහත් බිඳගෙන බැංකු ටිකත් විකුණා ගෙනය.” ඊට පෙර රටේ ජනයා ක්‍රියාත්මක විය යුතුය.

ලංකාවේ බොහෝ ජනයා කිසිදු අවස්ථාවක පාලකයන් ලබා දෙන මැතිවරණ පොරොන්දු කඩ කිරීමක් සම්බන්ධව හෝ රජයක් ඉදිරිපත් කරන අයවැය යෝජනා පැහැර හරිනු ලබන අවස්ථාවල ඔවුන්ව ප්‍රශ්න නොකරති . එම නිසාම බලයේ සිටින රජයන් කුමන හෝ ආකර්ශනීය පොරොන්දු ලැයිස්තුවක් කඩදාසියක මුද්‍රණය කොට ඊට ඉලක්කම් කිහිපයක් යොදා වාර්ෂිකව කියවනු ලබයි. සමහර ඒවාට ඉලක්කම් නැත. “රනිල්ගේ අයවැය වාගේ” කියන්නේ ඒ නිසාය. එහෙත් රටේ දේශපාලන පක්ෂ සති කිහිපයක් දෙපිල තුන්පිල බෙදී පාර්ලිමේන්තුවේ එම හිස් ලියවිල්ලේ ඇති කරුණු ගැන අටුවා ටීකා කියති. මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන්නේ එයයි. වර්ෂය අවසානයේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. රට තවත් බංකොලොත් වී ඇත.

මෙම සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කිරීමට කාලය එළඹ ඇත. දේශපාලන පක්ෂ තම මැතිවරණ ප්‍රකාශන වල ලියා තිබෙන පොරොන්දු ඉටු කිරීමට අමතරව ඔවුන් බලය ගත් පසු ඉදිරිපත් කරන අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට වගවෙන පාලනයක් බිහිකර ගත යුතුය. එසේ නොකරන දේශපාලන පක්ෂ වලට, අමාත්‍යාංශ භාර ඇමැති වරුන්ට , නිළධාරීන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාමාර්ග ගැනීමට ජනතාවට බලය හිමිවන ආකාරයට මූලික අයිතිවාසිකම් නීති වෙනස් කල යුතු ය. එවැනි පාලනයක් බිහිකර ගැනීම පුරවැසියන් වන අපගේ වගකීමකි. ඒ සඳහා වහා පෙළ ගැසෙමු. කපටි හිවලුන්, දේපළ කොල්ල කරුවන්, කප්පන් දේශපාලකයින් සහ කොම්ස් ඒජන්තයන් දඟගෙට යවමු. අපේ දරු මුණුබුරන්ට ඉන්න හිතෙන රටක් හදමු. මේ අපට ලැබෙන අවසාන අවස්ථාවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments