Saturday, April 27, 2024
Homeවිදේශීයආලෝකයේ දරුවන් සහ අන්ධකාරයේ දරුවන් අතර සටනක් - ඊශ්‍රායල අගමැති නෙතන්යාහු

ආලෝකයේ දරුවන් සහ අන්ධකාරයේ දරුවන් අතර සටනක් – ඊශ්‍රායල අගමැති නෙතන්යාහු

හමාස් ප්‍රහාරයෙන් පසු දින 11ක් තිස්සේ පලස්තීන ගාසා තීරය කොටු කර, නොනවත්වා දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලය, ඊයේ (17) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන්, කාන්තාවන්, වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු 500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

ගාසා තීරයේ ජනතාවට දකුණු දෙසට යන ලෙස දැනුම්දුන් ඊශ්‍රායල හමුදා, සීමාවක් නොමැති ව එල්ල කරන ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වේ.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ අල් – අහ්ලි අරාබි රෝහල දැවැන්ත පිපිරීමකට ලක්වූ බවයි. 

එය පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ කල්ලිය ඊශ්‍රායලයට එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදී සිදුවූ පිපිරීමක් ලෙස ඊශ්‍රායලය හඳුන්වයි.

එහෙත් ගාසා තීරයේ රෝහල් සරණාගත මධ්‍යස්ථාන පමණක් නොව ජගත් සංවිධානය පවත්වාගෙන යන පාසල් පවා ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක වී ඇති නිසා, මෙය ඊශ්‍රායලයේ ප්‍රහාරයක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පවා චෝදනා කළ ද ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය තම රොකට් ප්‍රහාරයක් එහි ක්‍රියාත්මක නොවූ බව අවධාරණය කරයි.

එමෙන්ම අල් – අහ්ලි රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ, ඊශ්‍රායල හමුදා රෝහලෙන් ඉවත් වන ලෙස මීට පෙර අනතුරුව අඟවා තිබූ බවයි. 

ඊට කාලතුවක්කු ප්‍රහාරයක් ද එල්ල වී තිබූ අතර, වෛද්‍යවරයෙකු දුරකථන මාර්ගයෙන් ද අනතුරු අඟවා තිබූ බව අල් ජසීරා රූපවාහිනිය වාර්තා කර තිබේ.

කෙසේ හෝ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් පසු කඩා වැටුණු රෝහල් ගොඩනැඟිලි සුන්බුන්වලට යට වූ මළ සිරුරු සිය ගණනක් ඇති බව විදෙස් මාධ්‍යය සඳහන් කර ඇත.

ගාසා තීරයේ පාලනය සතු ව ඇති හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය බොහෝ දෙනා අවතැන් වූ පුද්ගලයන් බවයි.

ගාසා තීරයේ සිටින මිලියන 2.3ක් පමණ වන පලස්තීනුවන් ගෙන් උතුරු ප්‍රදේශවල සිටි මිලියන 1.1ක් වන ජනතාවට දකුණු ප්‍රදේශවලට යන ලෙස දැනුම් දුන් ඊශ්‍රායල හමුදා, දැන් උතුර – දකුණ නොබලා ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

එමෙන්ම ගාසා තීරයට ආහාර, ජලය, ඉන්ධන, විදුලිය ඇතුළු සියලු සැපයුම් නතර කළ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමන් සතුන් පිරිසක් හා සටන් වැද සිටින නිසා ගාසා තීරයේ ජනතාවට ඒ ආකාරයෙන් සලකන බවයි.

එමෙන්ම මෙය ආලෝකයේ දරුවන් සහ අන්ධකාරයේ දරුවන් (CHIDREN OF LIGHT AND CHIDREN OF DARKNEES)  අතර සටනක් ලෙස ඊශ්‍රායල අගමැති නෙතන්යාහු විසින්ම පළ කළ X අවකාශයේ සටහනක් මේ වන විට මකා දමා තිබේ.

මේ වන විට ලෝක නායකයන් ගාසා තීරයේ රෝහලට එල්ල වූ ප්‍රහාරය දැඩි සේ හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එය සමූල ඝාතනයක් ලෙස හැඳින්වූ අතර, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සඳහන් කළේ, ගාසා තීරයේ රෝහලක සිය ගණනක් මරුමුවට පත් කරමින් එල්ල වූ ප්‍රහාරය පිළිබඳ තමා දැඩි කම්පාවට පත්වූ බවයි. 

මේ නිසා වහා මානූෂීය සටන් විරාමයකට එළැඹෙන්නැයි ඔහු ගැටුමේ පාර්ශ්වයන් වෙතින් ඉල්ලා තිබේ.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් ගාසා තීරයට – මානූෂීය ආධාර ලබාදීම සඳහා වහා ප්‍රවේශයක් ලබාදෙන ලෙසත් ජගත් මහලේකම්වරයා ඉල්ලා තිබිණි.

ප්‍රහාරය එල්ල වූ අල් අහිල් අරාබි රෝහල නැත්නම් අරාබි ජනතාව ගේ රෝහල පිහිටා ඇත්තේ, ඊශ්‍රායලය පලස්තීනුවන්ට පිට වන ලෙස දැනුම්දුන් ගාසා සිටි නැත්නම් ගාසා නගරයේය.

ජෙරුසෙලම් පුරවරයේ ක්‍රිස්තියානි සංවිධානයක් විසින් 1882 වසරේ පිහිටුවන ලද එය ගාසා තීරයේ පැරණිම රෝහල ද වේ.

වසරකට රෝගීන් 45,000කට පමණ ප්‍රතිකාර කරන අල් – අහිල් රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එහි සුන්බුන් අතර සිර වූ මළ සිරුරු ඉවත් කරගැනීම අඛණ්ඩ ව සිදු වූ අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයට පෙර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 3000 ඉක්මවූ අතර, ඉන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ළමයින් බව වාර්තා වේ.

ගාසා රෝහලට එල්ල වූ ප්‍රහාරයට එරෙහි ව දැවැන්ත විරෝධතා මතු වූ අතර, පලස්තීන ප්‍රදේශවල, මැදපෙරදිග අනෙකුත් රටවල මෙන්ම, වෙනත් රටවල ඊශ්‍රායල තානාපති කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා ක්‍රියාත්මක වී තිබේ.

ප්‍රහාරය එල්ල වූ අල් – අහිල් රෝහල උතුරු දිග ගාසා ප්‍රදේශයේ ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබූ රෝහල් 20න් එකක් බවත් එලෙස රෝහලක් අනාරක්ෂිත ව ඉවත් කරගැනීම අසීරු කාර්යයක් ව පැවති බවත්  වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, සිවිල් වැසියන්ට සහ සෞඛ්‍ය සේවාවන්ට වහා ක්‍රියාකාරී ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආයාචනා කරමිනි.

එමෙන්ම උතුරු ගාසාවේ වැසියන්ට ඉවත් වන ලෙස කළ දැනුම්දීම ඉවත් කරගන්නා ලෙසත් ජාත්‍යන්තර මානූෂීය නීතිය යටතේ සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කරනොගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා තිබේ.

ගාසා තීරයේ රෝහලට එල්ල වූ ප්‍රහාරය ජනාධිපති ජෝ බයිඩන් ගේ මැදපෙරදිග චාරිකාවට එල්ල කළේ විශාල බලපෑමකි.

ප්‍රහාරය එල්ල වූයේ, ඔහු එයාර්ෆෝස් වන් නිල ගුවන්යානයෙන් ඊශ්‍රායලය බලා නික්මෙන අවස්ථාවක දී ය.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිට ඊශ්‍රායලයට පැමිණ තිබේ.

ඔහු ඊශ්‍රායලයට පැමිණියේ යුදෙව් දේශයට අමෙරිකාවේ සහාය සහතික කිරීමට වුවත් පලස්තීන වැසියන්ට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන ද අවධානය යොමු වී තිබිණි.

ඒ සඳහා ජෝර්දානයේ අම්මාන් නුවර දී ඊජිප්තුවේ සහ ජෝර්දානයේ නායකයන් සමඟ මෙන්ම පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබූ නමුත් රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු සාකච්ඡාවෙන් ඉවත් වන බව පලස්තීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉන් පසු ජෝර්දානයේ අබ්දුල්ලා රජු විසින් සමුළුව අවලංගු කරනු ලැබීය.

ඒ, ඊජිප්තු ජනාධිපති ෆටා අල් සිපී ජෝර්දානයේ අම්මාන් වෙත පැමිණ සිටියදීයි. 

එම පියවර ජනපති ජෝ බයිඩ්න් ගේ මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායට එල්ල වූ දැවැන්ත පහරක් ලෙස සැලකේ.

කෙසේ නමුත් ගාසා තීරයේ අල් අහිල් අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් තමා දැඩි ශෝකයට පත්වූ බවත් සැබවින්ම සිදුවූයේ කුමක් ද යන්න සොයා බැලීම සඳහා තොරතුරු රැස් කරන ලෙස සිය ජාතික ආරක්ෂක කණ්ඩායමට දැනුම් දුන් බවත් ජනපති ජෝ බයිඩ්න් සඳහන් කරයි.

‍ගාසා රෝහලට ප්‍රහාරය එල්ල වූයේ එහි ජගත් සංවිධානය විසින් පවත්වාගෙන යන පාසැලකට ප්‍රහාරයක් එල්ල වී පැය 24ක් ගතවීමට පෙරය.

රෝහලට එල්ල වූ ප්‍රහාරය තමන් ගේ නොවන බව පෙන්වීමට දැඩි පරිශ්‍රමයක නිරත වන ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර මේ වනතුරු නතර කර නොමැති බව මැදපෙරදිග වාර්තා පෙන්වා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments