තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ අද (19) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද පස්වරු 3.50ට පමණ මාතර සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් ජීප් රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයින් පස්දෙනෙකුද, ලොරි රථයේ රියදුරු සහ සහායකයා ඇතුළු දෙදෙනෙකුද ගමන් කරමින් සිට ඇත.
මෙම අනතුරින් හත්දෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අය අතර ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වූ මාතර වැවහමන්දුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග මහතා සහ එම රථයේ ගමන් කළ මාතර හිත්තැටිය මැද ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එස්.එම්.වී. සුභාෂ් මහතා සිටින බව වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, අනතුරට ලක් වූ ඩිෆෙන්ඩර් රථය එම තරුණ පිරිස විසින් එක් දිනක් සඳහා කුලී පදනම මත ලබාගෙන භාවිත කරමින් සිට ඇත.
අනතුරින් ඩිෆෙන්ඩර් රථයට සහ ලොරි රථයටද දැඩි අලාභහානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

