කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, මෙම මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වේගයෙන් සුළං හමා යා හැකි අතර, මුහුදද විටින් විට රළු විය හැකි බව සඳහන් කරයි.
ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳවද සැලකිලිමත් වන ලෙසත් දැනුම් දී ඇත.
මේ අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහාද තද සුළං පිළිබඳ වෙනම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

