Monday, May 6, 2024
Homeදේශපාලන"රටේ ජනතාවගේ බලාපොරොත්තුව බවට පත්වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස" - හර්ශණ රාජකරුණා

“රටේ ජනතාවගේ බලාපොරොත්තුව බවට පත්වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස” – හර්ශණ රාජකරුණා

රටේ පාසලකට , රෝහලකට , ආගමික සිද්ධස්ථානයකට මොනයම් හෝ අඩුපාඩුවක් අවශ්‍යතාවයක් තිබෙනවානම් ඒ පිළිබඳව ඉල්ලීම් කරන්නේ රටේ විපක්ෂ නායකවරයාගෙන් බවත්

හැම ක්ශ්‍රේත්‍රයකම විශ්වාසය මේවනවිට ඇතිවී තිබෙන්නේ විපක්ෂ නායකවරයා පිළිබඳව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පැවැසීය.

විපක්ෂ නායකවරයා විපක්ෂයේ සිට විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරන බවත් රටේ ජනතාවගේ ඊළඟ බලාපොරොත්තුව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වී ඇති බවත් එසේ විශ්වාසයක් විපක්ෂ නායකවරයා වෙත ගොඩනැගී ඇත්තේ ආණ්ඩුව සහ ජනධිපතිවරයා පිළිබඳ රටේ ජනතාගේ විශ්වාදය බිඳි ඇති නිසා බවත් හර්ශණ රාජකරුණා මහතා හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා රටේ ජනතාව පිළිබඳ වෛරයකින් කටයුතු කරන ආකාරයක් පෙනෙන්න තිබෙන බවත් රටේ ජනතාවට ලබාදෙන පීඩනය දෙස බැලුවාම පෙනෙන්නේ ජනාධිපතිවරයා පරණ තරහක් ජනතාවගෙන් පිරිමහක ආකාරයක් බවත් මේ ආකාරයට ජනතාව පීඩාවට ලක් කරන ජනාධිපතිවරයෙක් ඉතිහාසයේ කවරදාකවත් සිට නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුව කැබිනට් ඇමැතිවරු වෙනස් කරන්න ගන්නා උත්සාහයෙන් රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් ඇමැතිධූරය වෙනස් කරමින් සිදුවුණ හොරකම් දූෂණ වංචා යට ගහන්න ආණ්ඩුව උත්සහ කරනවානම් ඊට කිසිසේත් ඉඩ ලබාදෙන්නේ නැති බවත් හර්ශණ රාජකරුණා මහතා පැවැසීය.

හර්ශණ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේ අද (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

හර්ශණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘‘ආණ්ඩුව සහ ජනාධිපතිවරයා රටේ ජනතාව පිළිබඳ වෛරයකින් කටයුතු කරන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. රටේ ජනතාවට ලබාදෙන පීඩනය දෙස බැලුවාම අපට පෙනෙන්නේ පරණ තරහක් පිරිමහක ආකාරයක්. සතියෙන් සතිය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ දමනවා. සතියකට කලින් ඉන්ධන මිල වැඩිකළ. ඊට සතියකට කලින් ගෑස් මිල වැඩිකළා. ඊට සතියකට කලින් වතුර බිල වැඩි කළා. මේ සතියේ විදුලි බිල වැඩිකළා. මේ වසරට තුන් වතාවක් විදුලි බිල වැඩිකරලා තිබෙනවා. විදුලි බිල සියයට 200 ක 300 කින් විදුලි බිල වැඩි කරලා තියෙනවා. දෛනික වැටුප් සහ මාසික වැටුප් ලබන ජනතාවට වතුර බිල / විදුලි බිල / ගෑස් මිලට මුදල් ගෙව්වම ඉතිරි වියදම්වලට සල්ලි ණයට ගන්න වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ.

මේ ආකාරයට ජනතාව පීඩාවට ලක් කරන ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ඉතිහාසයේ කවරදාකවත් ඉදලා නෑ. මේ ආකාරයට ජනතාව පීඩාවට ලක් කරනකොට ජනතාව පාරට බහිනවා. ජනතාව පාරට බහින එක වළක්වන්න ආණ්ඩුව ත්‍රස්ත විරෝධි පනත වගේ පනත් ගෙනල්ලා ජනතාව මර්දනය කරන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ යුගයේ තිබුණ පීඩනයට වඩා පීඩනයක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පැනලා ගිය විදහට වඩා දරුණු විදිහට තමයි රනිල් රාපක්ෂට පලා යන්න වෙන්නේ.

ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා ඉන්ධන මිල වැඩිවෙන්න පුලුවන් කියලා ආණ්ඩුව කියනවා. ඒ රටවලට කිඹුහුමක් ගියත් මේ රටවල් බලන්නේ මොකක් හරි වැඩි කරන්න. විදුලි බිල / ගෑස් මිල / ඉන්ධන මිල වැඩිවීමෙන් රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ගණන්ද ඉහළ යනවා. මේ වැඩිවීම රටේ ජනතාවට දරා ගන්න බෑ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කරන්නේ රට සවාරි යමින් රාජ්‍ය ඇමැතිවරු වැඩි කරමින් කැබිනට් ඇමැතිවරු වැඩි කරගෙන සියලු සැප සම්පත් උපරිමයෙන් විදිමින් ඉන්නවා. ඔවුන් දන්නවා තව සුලු කාලයයි මේ තනතුරුවල ඉන්න පුලුවන් කියලා. ඉන්න දින කිහිපය තුළ උපරිම සැප ඔවුන් විදිනවා.

ආණ්ඩුව කැබිනට් ඇමැතිවරු වෙනස් කරන්න යනවා. එහෙම වෙනස් කළ පමණින් රටේ ප්‍රශ්න විසදෙයිද? ඇමැතිවරු මාරු කරලා රටේ ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න හදනවා. ඇමැතිධූරය වෙනස් කරලා තවත් හොරා කන්න පුලුවන් ඇමැතිධූරයක් භාරදුන්නාම කලින් ආයතනවල සිදුවුණ දූෂණය අමතක කරන්න පුලුවන්ද? සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න අවස්ථාවේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ආවේ සෞඛ්‍ය ඇමැතිවරයාට ශක්තියක් වෙන්න. ඒ ආකාරයට සෞඛ්‍ය ඇමැතිවරයාට එදා ආරක්ෂා කරලා දැන් ඇමැතිධූරය වෙනස් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවුණ හොරකම් දූෂණ වංචා යට ගහන්න ආණ්ඩුව උත්සහ කරනවානම් අපි ඊට කිසිසේත් ඉඩ ලබාදෙන්නේ නෑ. පසුගිය දවසක බෙහෙත් වගයක් ගෙනල්ලා තිබ්බා හොර ලිපි නිකුත් කරලා. දැන් ඇමැතිවරයා මාරු කළාම ඒ ප්‍රශ්නය විසදෙනවද? ඒ ප්‍රශ්නය යට ගහන්න අපි ඉඩ දෙන්නේ නෑ. රටේ ජනතාව රවට්වන්න තමයි නැවත වතාවක් ඇමැතිධූර මාරු කරන්න යන්නේ. නමුත් රටේ ජනතාවනම් බලාගෙන ඉන්නේ ආණ්ඩුවේ සියලු ඔලුගෙඩි ටික මාරු කරන්න.

මැතිවරණයක් තියෙනවා කියලා ජනාධිපති කියන්න ඕන නෑ. අනිවාර්යෙන් ලබන වසරේ ජනාධිපතිවරණයක් තිබිය යුතුමයි. මැතිවරණ තියෙනවා කියලා කියන්න ජනාධිපති මැතිවරණ කොමිසමේ සභාපති නෙවෙයිනේ.

මැතිවරණ කොමිසම රටේ ව්‍යවස්ථාව අනුව නීතිය අනුව මැතිවරණ තියයි. එහෙම නැතිවුණොත් ඉතුරු ටික අපි බලාගන්නම්. ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ජනාධිපතිවරණය තියන්න බෑ. ජනාධිපතිවරණ කල් දාන්න ජනාධිපතිවරයාට බලයක් නෑ. ජනාධිපතිවරණයට කලින් හොරෙන්ම කල් දාපු පළාත් පාලන මැතිවරණය තියන්න. මුදල් අමාත්‍යංශය අවශ්‍ය මුදල් ලබාදෙන්නේ නැතුව ව්‍යවස්ථා විරෝධීව පළාත් පාලන මැතිවරණය නතර කරලා තියෙනවා.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය මෙහෙයවනවා කියලා කරන්නේ පාඩු ලබන ආයතන පාඩුව පියවා ගන්න එම ආයතනවලින් ජනතාවට ලබාදෙන සේවාවල මිල ගණන් වැඩි කරන එක. රටේ සම්පත් විකිණීමෙන් සහ මිල ගණන් වැඩි කිරීමෙන් තමයි ආණ්ඩුව රටේ ආර්ථිකය මෙහෙයවන්නේ. මේක තමයි ආණ්ඩුවේ ආර්ථික උස්තාර්ලාගේ ආර්ථික දැක්ම.

රටේ පාසලකට , රෝහලකට , ආගමික මධ්‍යස්ථානයකට මොනයම් හෝ අඩුපාඩුවක් අවශ්‍යතාවයක් තිබෙනවානම් ඉල්ලීමක් කරන්නේ විපක්ෂ නායකවරයාගෙන්. හැම ක්ශ්‍රේත්‍රයකම විශ්වාසය ගොඩ නැගිලා තිබෙන්නේ විපක්ෂ නායකවරයා පිළිබඳව. විපක්ෂ නායකවරයා විපක්ෂයේ ඉදගෙන අති විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරනවානම් රටේ නායකයා වුණ දවසට කොච්චර ජනතා සේවයක් සිදුකරයිද කියලා ජනතාවට විශ්වාසයෙන් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. රටේ ජනතාවගේ බලාපොරොත්තුව බවට පත්වෙලා තියෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments