Thursday, May 2, 2024
Homeදේශපාලනස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන...

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

එසේම කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති රජය ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැළසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවසීය,

වත්මන් රජය කාන්තාවන් සහ ළමයින්ගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනවා. ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ඉතා වැදගත් උපදෙස් සහ නිර්දේශ ලැබී තිබෙනවා.

මේ වනවිටත් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරාවට ක්‍රියාත්මක 1938 දුරකතන අංකය හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම අනන්‍යතාවය හෙළි කිරීමකින් තොරව අත් හැර දමා යන දරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් “ කවුළුව ” වැඩසටහන ද ක්‍රියාත්මක කර තිබෙනවා.

කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්ෂිත බව ඉහළ නැංවීම ද ඉතාම වැදගත් වනවා. ඒ සදහා ගනු ලබන පියවරක් ලෙස සනීපාරක්ෂක තුවා බදු අඩු කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදුකිරීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාවට නැගීමට නියමිතයි. ඒ යටතේ ඉතාමත් වැදගත් පනත් තුනක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළීබඳ ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.

මෙම වැඩසටහන එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වෙනවා. මෙම සමස්ත වැඩසටහන ඉදිරි පස් වසර (2024 – 2028) තුළ ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ යටතේ තරුණ කාන්තාවන්, වැන්දඹුවන්, බන්ධනාගාරගතවු පවුල්වල කාන්තාවන්, වතු අංශයේ කාන්තාවන්, අඩු ආදායම්ලාභී නාගරික කාන්තා ව්‍යවසායිකාවන් දිරිගැන්වීම සඳහා ස්වයං රැකියා යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ වගේම දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට අප කටයුතු කරනවා. මීට අමතරව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය විසින් ළමුන් වෙනුවෙන් ද විශේෂ කාර්යයන් රැසක් මේ වන විට ක්‍රියාවට නගා ඇති බව කිවයුතුයි.

ගර්භනී සහ කිරිදෙන මව්වරු සඳහා මාස 10 කට රු. 45,000 පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන මේවන විටත් ක්‍රියාත්මකයි.ඒ අනුව මාස 6 ක කාලයක් සඳහා සහ කිරිදෙන සමයේ මාස 04 ක් වශයෙන් මාස 10 ක් සඳහා අදාළ ප්‍රතිලාභය හිමි වනවා.

මීට අමතරව 2023 වර්ෂයේ දී පෙර පාසැල් ළමුන් සදහා උදෑසන ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ වෙනුවෙන් ඉලක්කගත දරුවන් ප්‍රමාණය 155,000 ක් වනවා .

ඒ වගේම “ගුරු අභිමානී” වැඩ පිළිවෙලට අනුව පෙර පාසල් ගුරුවරියන් සඳහා මාසිකව රු.2500/- ක දීමනාවක් ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.

ළමුන් හා කාන්තාවන්ගේ ගැටළු සඳහා මාසිකව දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම ද මේ වනවිටත් අප ආරම්භ කර එම කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතිනවා.

පෝෂණ ඌනතා හදුනාගනු ලැබූ මොණරාගල, ගාල්ල, මුලතිව්, අනුරාධපුර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්වලට අදාල පෙර පාසල් ළමුන් සඳහා අධි පෝෂණීය බිස්කට් ලබාදීමට අප කටයුතු කරනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments