Monday, May 6, 2024
Homeදේශීය“ බෝ සමිඳු වන්දනා බස් රථ සේවය” අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ඇරඹයි.

“ බෝ සමිඳු වන්දනා බස් රථ සේවය” අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ඇරඹයි.

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම නිකිණි පුර පසළොස්වක පෝය දිනට සමගාමීව සිදු කෙරිණි.

විශේෂයෙන්ම පොහෝ දින සහ සති අන්තවල අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින්ට අවම මුදලකට අවහිරයකින් තොරව දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝ මළුව දක්වා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පැවති බවත්, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයන ඇතැම් පිරිස් වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට හිරිහැර වන ආකාරයෙන්, දරා ගැනීමට නොහැකි තරම් අධික මුදලක් අයකරමින් බලහත්කාරයෙන් සිය වාහන වලට නංවා ගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කලක් තිස්සේ ක්‍රියාත්මක වන බවත් අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ සති කිහිපයකට පෙර අමාත්‍යවරයා මුණගැසුණු අවස්ථාවේ පෙන්වා දෙන ලදී. විවිධ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳව විවේචනාත්මක පුවත් පළ වූ අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගනිමින් නිකිණි පොහෝ දින සිට නව බස් රථ සේවයක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව රුපියල් 50 ක ගාස්තුවකට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා ගමන් කිරීමේ අවස්ථාව මෙම බස් රථ සේවය ආරම්භ වීමත් සමඟ බැතිමතුන්ට හිමිවෙයි. දුම්රිය බස්රථ ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයකට අනුව දිනකට ගමන් වාර 15ක්‌ බස් රථය ධාවනය කිරීමට නියමිත වේ.
අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට සඳහිරු සෑය, ඉසුරුමුණිය, අභයගිරිය, සමාධි පිළිමය, ජේතවනාරාමය, ථූපාරාමය, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය යන සියලු සිද්ධස්ථාන ආවරණය වන ආකාරයට ” බෝ සමිඳු වන්දනා” බස් රථයේ ගමන් මාර්ගය සැලසුම් කර තිබේ.

බස් රථය ධාවනයට එක් කිරීමේ අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දී ඓතිහාසික අනුරාධපුර ශුද්ධ නගරයේ සිට සුවිශේෂී පින්කමකට දායකවීමට ලැබීම සතුටක්. මහින්දාගමනයත් සමඟ මෙරට ආර්ථික, සමාජ, සංස්කෘතික සහ ආගමික ඉතිහාසය වෙනස් වන්නට ආරම්භ වූයේ අනුරාධපුර ශුද්ධ නගරය මූලික කර ගනිමින්.

මහා විහාරය සහ අභයගිරිය කේන්ද්‍ර කරගත් දැවැන්ත අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූ අනුරාධපුරයෙහි පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලොව වැඩිම පිරිසක් වැදුම් පිදුම් කරන ඉපැරණිම වෘක්ෂය ලෙස වන්දනාමානයට පාත්‍ර වනවා.

අටමස්ථානය ඇතුළු මෙම සුවිශේෂි ආගමික උරුමයන් සහ සිද්ධස්ථානයන් වන්දනාමාන කර ගැනීම සඳහා දිවයිනේ ඈත පිරිසට ප්‍රදේශවල සිට මෙන්ම විදේශීය රටවල සිට පවා විශාල පිරිසක් දෛනිකව අනුරාධපුරයට පැමිණෙනවා.

ඔවුන් ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන දුම්රිය ස්ථානයේ සිට අටමස්ථානය ඇතුළු සිද්ධස්ථාන වලට පිහිටි කෙටි දුර ගමන් කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඔවුන් මුහුණදෙන විවිධ හිංසාවන්, හිරිහැරයන් පිළිබඳව අටමස්ථානාධිපති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ ඊට සම්බන්ධ ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යවරුන් ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා. එය ඉටු නොවීම පිළිබඳව නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද දෝෂාරෝපණයට ලක් වීමට සිදු වීම අතිශයින් සාධාරණයි. ඒ පිළිබඳව අපගේ ගෞරවනීය අවධානය යොමුකර මීට දශකයකට පමණ පෙර ක්‍රියාත්මක වෙමින් පැවතී අතර මඟ නතර වුණු මෙම දුම්රිය බස්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමේ වගකීම මා බාර ගත්තා. ප්‍රවාහන හා මහාමාර්ග විෂය භාර අමාත්‍යවරයා ලෙස එය මා සතු වගකීමක්, යුතුකමක් මෙන්ම අයිතියක් ද වනවා.

ඒ අනුව ආරම්භ කෙරෙන මෙම බස් රථ සේවාව මඟින් බැතිමතුන්ට විශාල හිරිහැරයක් වූ ගැටලුවකට විසඳුම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සතුටු වනවා.

ඒ අනුව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පෝය දිනවල පමණක් මෙම ඒකාබද්ධ බස් රථ ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වන අතර ඒ තුළින් ත්‍රිරෝද රථ ධාවනය කරන පිරිසට ද කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු සැලසුම් කර තිබෙනවා.

ආර්ථික වශයෙන් විශාල ගැටලුවකට මුහුණ පා තිබෙන රට නැවත යළි ගොඩනැගීම උදෙසා හොරකම, වංචාව, දූෂණය නවතා විනයක් සහිතව කටයුතු කරන රාජ්‍ය සේවයක් බිහි කිරීමට අප කටයුතු කළ යුතුයි.

ඒ වෙනුවෙන් කැප වන සේවකයින් මෙන්ම රාජ්‍ය දේපළ ද ආරක්ෂා කර ගැනීමේ සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම අප ඉටු කරනවා. යහපත් අරමුණකින්, පොදුජන සුබසිද්ධිය උදෙසා සිදුකරන කටයුතු වෙනුවෙන් රාජ්‍ය සේවකයින් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ඇතුළු සියලු දෙනාගේම සහයෝගය ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.”

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.චන්ද්‍රසේන මහතා, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා, ලංගම ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ( ධාවන ) පණ්ඩුක ස්වර්ණහංස මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments