Saturday, May 4, 2024
Homeදේශපාලනසරත් ෆොන්සේකාගෙන් යුද හමුදාවට දැනුම්දීමක්

සරත් ෆොන්සේකාගෙන් යුද හමුදාවට දැනුම්දීමක්

හමුදාපතිගේ කීර්තිනාමයත්, හමුදාවේ කීර්තිනාමයත්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ කීර්තිනාමයත් රැකෙන ලෙස කටයුතු කරන ලෙස ගෞරවයෙන් යුතුව හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ හමුදාවේ වැරදි කරන නිලධාරීන් හට උපරිම දඬුවම් ලබාදෙන ලෙසටය.

මේ අතර එළඹෙන 09 වනදා රට තුළ සිදුකෙරෙන අරගල සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන්ද එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා.

“මේ වෙලාවේ මේ වගේ දෙයක් වෙලත් දේශපාලනඥයින්ට මේ ගැටලුවෙන් රට බේරාගැනීමට නොහැකිව විහිලු සපයමින් ඉන්නවා කියන එකයි මට වැටහෙන්නේ. බලයට පොරකනවා. අපි දකිනවා උදේ ඉඳලා රෑ වෙනකල් සාකච්ඡා පවත්වනවා. ඒ වගේම හැමදාමත් වගේ දේශපාලන උප්පරවැට්ටි සිද්ධවෙනවා. ඔලුගෙඩි මාරුවෙනවා, සන්ධාන හැදෙනවා. බලය ලබාගන්න නොයෙක් ජිල්මාට් සක්කරවට්ටම් වැඩ කර කර යටි කූට්ටු වැඩ කර කර කට්ටිය කාලය ගතකරනවා. සමහරු ව්‍යවස්ථා සංශෝධන ගැනත් කතාකරනවා මේ වෙලාවේ මම දකින්නේ ව්‍යවස්ථා සංශෝධන කළා කියලා රටක් වෙනස්වෙන්නේ නෑ. මේ රටේ මොන ව්‍යවස්ථාව තිබුණත් දේශපාලනඥයෝ හරියට වැඩ කරනවා නම් රට ඉදිරියට යාවි. ජනතාව තේරුම්ගන්න ඕන මේ රට වෙනස්වෙන්න නම් දේශපාලන සංස්කෘතිය වෙනස්වෙන්න ඕන කියන එක. මම හැමදාමත් මේ කතාව කියනවා. දේශපාලනඥයෝ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරලා තමුන්නාන්සේලාට සොච්චමක් දීලා ඡන්දේ කාලෙට ඇවිල්ලා තමුන්නාන්සේලාට ටකරමක් දීලා, බෝතලයක් දීලා එහෙම නැත්නම් ආහාර මල්ලක් දීලා තමුන්නාන්සේලාගේ ඡන්දය ගන්නවා. තමුන්නාන්සේලා ඒ දේශපාලනඥයෝ ගැන විශ්වාසය තියනවා. ඊට පස්සේ තමුන්නාන්සේලාගේ දරුවට රස්සාවක් ගන්න දරුවෝ ඉස්කෝලෙට දාන්න තමුන්නාන්සේලා දේශපාලනඥයෝ පස්සේ යන්න පටන් ගන්නවා. ජනතාව නිවැරදි ජනතා නියෝජිතයෝ තෝරාගන්න ඕන. නියෝජිතයෝ තෝරාගැනීමේදී උගත්කම තිබුණා උපාධි තිබුණා කියලා මදි, සල්ලි තිබුණා කියලා මදි. අනිවාර්යයෙන්ම කාර්යශූර, කඩිසර, නිර්මාණශීලී, අවංක දේශපාලනඥයෝ තෝරාගන්න ජනතාව උනන්දු වෙන්න ඕන. ජනතාව ඡන්දයක් දෙන්න ඉස්සරවෙලා අනිවාර්යයෙන්ම දේශපාලනඥයාගේ පැටිකිරිය දේශපාලනඥයාගේ අතීතය, එයා මොනවද කරලා තියෙන්නේ, මොනවද කරන්න පුළුවන් කියන එක හොඳට හොයලා බලලා තමයි ඡන්දයක් දෙන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය වෙනස්කරගන්න ඕන නම්.”

“ලෝකේ වෙන රටවල දේශපාලනඥයෝ අපි දකිනවා එයාලා අසාර්ථක වුනාම, එයාලගේ වැරදි ජනතාව අතරට ගිහිල්ලා ජනතාව දැනුවත් වුනාම ඒගොල්ලෝ පාර්ලිමේන්තු වලින් ඉල්ලා අස්වෙනවා. එක්කෝ ඒගොල්ලෝ දේශපාලනයෙන් යනවා. නමුත් මේ ක්‍රමවේදය අපේ රටේ නෑ. අපේ රටේ දේශපාලනඥයෝ අර ගෙවලයෝ වගේ, පයින් ගැහුවත් උඩගිහිල්ලා කැරකිලා වැටෙන්නේ ගේ පැත්තට හැරිලා. ඒ ඇරෙන්න ජනතාව ගැන හිතලා රට ගැන හිටලා ආත්ම ගරුත්වය ගැන හිතල ඒවා අතහරින්න අපේ දේශපාලනඥයෝ ලෑස්ති නෑ. පහුගිය දවස්වල අපි දැක්ක හොඳම උදාහරණයක්. ජනතාවත් මේක තේරුම්ගන්න ඕන.”

“මේ උදාහරණය ආවා පොළොන්නරුවෙන් අපිට. අර පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඔක්කොම ඇවිල්ලා තියෙද්දිත්. නිකන් උඩ බලාගෙන ඉඳල ප්‍රහාරය එන දවසේ රටින් පැනලා ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා විවේකයෙන් කාලය ගතකළා. උදේ 8.30ට ප්‍රහාරය ආවාම උදේ 9ට තිබුණු ෆ්ලයිට් එක අරගෙන ලංකාවට ආවේ නෑ. 3ට තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානයේ ආවෙත් නෑ. රෑ 9ට තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානයේ ආවෙත් නෑ. පාර්ලිමේන්තු කාරක සභාව ඉස්සරහට ඇවිල්ල බොරු කිව්වා ඒකේ සීට් තිබුණේ නෑ කියලා. ඒ ගුවන් යානා දෙකේම බිස්නස් ක්ලාස් සීට් 10කට වඩා තිබුණා. ඉකොනොමි ක්ලාස් සීට් 30ක් විතර තිබුණා. ඇවිල්ලා බොරු කියලා රෑ 1ට තමයි ලංකාවට ආවේ. රටේ ආරක්ෂක ඇමති. සිංගප්පූරු ගුවන් යානයක ලංකාවට ආවා රෑ 1ට. එතකොට මේ වගේ වැඩකරපු මිනිස්සුන්ටත් වැඩිම මනාප දීලා මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට එව්වා. එතකොට මේ ක්‍රමය අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන. මේ ක්‍රමය වෙනස්කරගත්තේ නැත්නම්. අපේ රටේ ජනතාවට හැමදාම දුක්විඳින්න සිද්ධවෙනවා. ජනතාවට යහපතක් වෙන්නේ නෑ. අපේ රටේ ජනතාව යන්තම් නොකා නොබී කාලා බීලා ජීවත්වෙන කට්ටියක්. මේගොල්ලොන්ට සමෘද්ධිය දුන්නොත් සෑහීමකට පත්වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි කුඩා උදව්වක් ලැබුණාම ආණ්ඩුවෙන්, රුපියල් 2000ක් 5000ක් ලැබුණාම සන්තෝෂයට පත්වෙලා සෑහීමකට පත්වෙනවා. අපේ රටේ ජනතාව තේරුම්ගන්න ඕන මේ ඉන්න නරාවලෙන් ගොඩ එන්න නම් ඔය ඉන්න ආකල්ප වෙනස්වෙන්න ඕන කියලා.”

“අපේ රටේ අපි දන්නවා පරිප්පුයි බතුයි කන දරුවෝ ඉන්නවා. ඔය කුරුණෑගල පැත්තේ මම යනකොට දරුවන්ගෙන් මම ඇහුවම දවල්ට මොනවද කන්නේ කියලා වැටකොලුයි බතුයි කිව්වා. එහෙම නැත්නම් වැව් මාළු කෑල්ලකුයි බතුයි කිව්වා. ඒ වගේ දරුවෝ ජීවත්වෙන රටක් මේක. ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් කිව්වට. ඒ සල්ලි තියෙන්නේ පොහොසත්තු ගාව විතරයි. එක්ක්කෝ ඒ සල්ලිවලින් කොටසක් ආණ්ඩුවේ තියෙනවා. ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. ජනතාව ඉතා දුගී විදියට ජීවත් වෙනවා. රටේ පාලකයෝ නායකයෝ ඇමතිවරු ආර්ථිකය භාරව හිටපු කට්ටියත් මේ සියල්ලට වගකියන්න ඕන. ඒගොල්ලෝ කරන්නේ හැමදාම තනතුරු ලැබුණාම රටේ තියෙන සල්ලි ටික කරකවනවා, ඒ ඇරෙන්න රටේ ආර්ථිකය ගොඩගන්න සල්ලි නිර්මාණය කරන්න. විදේශ විනිමය වැඩියෙන් ලැබෙන ක්‍රම හදන්න, එහෙම කවදාවත් වැඩකරලා නෑ. තියෙන සල්ලි ටික කරකවලා ඉවරවෙලා අවුරුදු 5 ඉවර කරනවා.”

“මෙම මේ අවස්ථාවේ කතා කරන්න ඕන යුද හමුදාවට, තමුන්නාන්සේලා රාජකාරී කරන්නේ ඉතාම දුෂ්කර භාරදූර කාලවකවානුක. නමුත් තමුන්නාන්සේලාගේ යුතුකම් විනගරුකව ඉෂ්ඨ කරන්න ඕන. අර ගාලු කොටුවේ පවුර උඩ මම දැක්කා නරුමයෙක් හැසිරුණු ආකාරය. ඒ පුද්ගලයා තොප්පියවත් දාන්න දන්නේ නැති මිනිහෙක්, මම හිතුවා තොප්පිය ඇතුලේ පාන් ගෙඩියක් තියෙනවා කියලා. ඒ වගේ මිනිස්සු යුද බිමක ඉඳලා නෑ. හමුදාවට අගෞරව වන ආකාරයෙන් හැසිරෙනවා. අර පා පහරක් දුන්න නරුමයා තවත් තැනක, ලුතිනන් කර්නල් කෙනෙක්ලු. මම හමුදාපතිට ගෞරවයෙන් මතක් කරනවා හමුදාපතිතුමා. ඔබතුමාගේ කීර්තිනාමයත් හමුදාවේ කීර්තිනාමයත් විශ්‍රාමික අපේ කීර්තිනාමයත් රැකෙන්න, මේ වගේ අයට උපරිම දඬුවම් කරලා ඒගොල්ලොන්ට එරෙහිව නීතිය ඇස් පනාපිට විනිවිදභාවයක් ඇතුව ක්‍රියාකරන්න,”

“ඊළඟට ජනතාවගේ පැත්තට කොයිවෙලාවකවත් තුවක්කුව හරවන්න එපා. ඒක කරන්න කිසිවෙලාවක හමුදාව හා පොලීසිය කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟට මම පොලීසියට මතක් කරන්න ඕන. 09 වනදා විශාල ජන ගංගාවක් එයි, කඳුළු ගෑස් ගැහිල්ල වතුර ගැහිල්ල වුණත් ඒක සාමකාමී ක්‍රමයක් වෙන්නේ නෑ විශාල ලක්ෂයක් විතර ඉන්න තැනකට ඒවා ගැහුවොත්. ජනතාව දුවන්න ගත්තොත් පෑගිලා කාන්තාවෝ වයසක උදවිය සියයක් දෙසීයක් මැරෙන්න පුළුවන්. එහෙම වුනොත් ආපහු ගිනිකෙළි බලන්න පුළුවන් එදාටත් රට පුරාවටම. ඒක හන්දා මේවා ගැන හොඳට කල්පනා කරන්න.”

“සර්වපාක්ෂික ආණ්ඩුවක් විපක්ෂයෙන් තියන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අපට 113 හම්බවෙන්නේ නෑ, ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ඇවිල්ලා වාඩිවෙලා ඉන්න කට්ටියත් හැමවෙලේම ඡන්ද දෙන්නේ අදහස් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවත් එක්ක තමයි තාම. ඒක හන්දා මේ අර්බුදය තියෙනවා. අපි ඔක්කොම එකතුවෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වත් ඒක ඇතුළේ ජ්‍යෙෂ්ඨයෝ කැබිනට් එකේ ඉඳීවී. පරිණත කට්ටිය කැබිනට් එකේ ඉඳීවී ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්නවලට වැඩියෙන් වගකියන්න ඕන. එතකොට අනිවාර්යයෙන් ඒක ඇතුළේ ගැටුම් තියේවී, ඒක ඇතුලෙත් තරගකාරී බව තියේවී. රටේ ප්‍රශ්නෙට වඩා උග්‍ර ප්‍රශ්න තියේවී මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට්ටුව පවත්වාගෙන යන්න, ඒක හන්දා මම දකින්නේ එක පාර්ශවයකට සමගියෙන් ඉන්න පුළුවන් විපක්ෂයේ හෝ ආණ්ඩුව. වගකීම භාරගන්න ඕන, භාර අරගෙන ඒගොල්ලෝ මේකට හරියට මුහුණදෙන්න ඕන. ආණ්ඩුව ජනතාවට අප්පිරිය වෙලානම් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම්. ජනතාව ආණ්ඩුව එළවන්න නම් පෙල හැදිලා ඉන්නේ, ජනාධිපති එළවන්න නම් අගමැති එළවන්න නම්, විපක්ෂයට අනිවාර්යයෙන්ම ඒ වරම ලැබෙන්න ඕන. විපක්ෂයට වරම ලැබුණොත් බහුතර සුළුතර ගැන කතා කරකර ඉන්නේ නැතුව බය නැතුව ආණ්ඩුව අරන් කරන්න ඕන. කරන්න බැරිනම් බෙල්ල තියලා දමල ගහලා යන්න ඕන. ඒක තමයි අද වෙනකොට මේ රටේ සිද්ධවෙන්න ඕන. මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා 09 වෙනිදා උද්ඝෝෂණ අරගල සියයට 1000ක් සාර්ථක වෙත්වා කියලා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments