Sunday, May 19, 2024
Homeදේශපාලනඅස්වැසුම අච්චාරුවක් – රට බංකොළොත් කළ අය එය හදනවා කීම විහිළුවක් –...

අස්වැසුම අච්චාරුවක් – රට බංකොළොත් කළ අය එය හදනවා කීම විහිළුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුවට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැති බවත් අස්වැසුම වැඩසටහනටත් හරි වැඩපිළිවෙළක් නොමැති වුවත් ඔවුන් මේ වන විට ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියෙ ඊයේ (30 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාම නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවකදීය.

කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට මුලින්ම සිදුකළ යුතුව තිබුණේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව නිවැරදිව හඳුනාගෙන ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් නිවැරදිව හදුනා ගැනීමයි. නමුත් අස්වැසුම වැඩසටහන පටන් ගත්තේ එවැනි විධිමත් සමීක්ෂණයකින් නොවන බවත් එම වැඩසටහන කරගෙන යන අතරතුර සමීක්ෂණයක් සිදු කිරීමට රජය පටන් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම තමා ජනාධිපති වූවා නම් සිදු කරන්නේ මුලින්ම විධිමත් ජන සමීක්ෂණයක් සිදු කිරීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු ජන සංගණනය ලර්න් ඒෂියා ආයතනය සිදු කිරීමේ දී මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවත් මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් නිද්‍රාශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බෙහෙත් නොමැති වීම, රෝහල්වල බෙහෙත් නිසා ජනතාව මිය යෑම, වෛද්‍යවරු රට හැර යෑම, සෞඛ්‍ය ඇමතිවරයා විසින් අමානුෂීය කතාකීම වැනි බරපතළ ගැටලු

රැසක් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇති බවත් මේ තත්ත්වය අනුව පෙනී යන්නේ මේ ආණ්ඩුවට කිසිම ලැජ්ඡාවක් නොමැතිකම බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන පවා ආරම්භයේ සිටම වැරදි බවයි.

එමෙන්ම මේ වනවිට රටේ ඇති සමාජ ආරක්ෂණ වැඩසටහන් සියල්ල අවුල් වී ඇති බවත් ජනසවිය ක්‍රියාත්මක වන අවධියේ පවා එය හරියට සිදුකළ නමුත් මේ වනවිට සිදුවන්නේ රටේ මුදල් නාස්ති කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බවත් රටත් අච්චාරුවක් කරන මේ විකෘති රජය අස්වැසුම වැඩසටහන පවා අච්චාරුවක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රට බංකොළොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් ඔවුන් හදන රටක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන අස්වැසිල්ලක් විය යුතු වුවත් එහි ඇත්තෙන්ම සිදුවන්නේ ඇස්බැන්දුවක් බවත් මේ ඇස් බැන්දුම් වැඩ ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති ප්‍රමුඛ ඇමති මණ්ඩලය බවත්ය.

එමෙන් ම සුනාමිය, කොවිඩ්, පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේ ග්‍රාම නිලධාරීන් බිම් මට්ටමේ විශිෂ්ට සේවයක් ඉටු කළ බවත් එය අවිවාදයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments