Thursday, May 2, 2024
Homeදේශීයගලි බවුසරයෙනුත් ලක්ෂ තුනක් ගසා කාලා

ගලි බවුසරයෙනුත් ලක්ෂ තුනක් ගසා කාලා

මාතලේ මහ නගර සභාවට අයත් ගලි බවුසර් සේවා පිටස්තර පුද්ගලයන්ට කුලියට ලබාදීමේ දී එහි කුවිතාන්සි වංචනික ලෙස වෙනස් කර රුපියල් තුන්ලක්ෂ හැටපන් දහස් එකසිය විසි පහක මුදලක් නගරසභා ආදායමට බැර නොකර ඇති බව විගණන විමසුමක දී අනාවරණය වී ඇත.

මෙම තොරතුරු හෙළිව ඇත්තේ මාතලේ මහ නගර සභාව මගින් 2022 ඔක්තෝබර් මස සිට 2023 ජුනි මාසය දක්වා ගලි බවුසර කුලියට දීම සම්බන්ධව කළ විගණන පරීක්ෂාවේ දී ය.

නගර සභාව මගින් වෙනත් සේවාවලට මුදල් ලබාගැනීමේ දී නිකුත් කළ කුවිතාන්සි අංක වංචනික ලෙස සටහන් කර, ගලි සේවා 57 ක් වෙනුවෙන් අය කළ මුදල් මෙලෙස නගර සභා ගිණුමට බැර වී නොමැති බව එම විගණනයේ දී අනාවරණය වී ඇත.

ගලි සේවා ලබාගැනීම සඳහා ඉල්ලු‍ම් කළ පුද්ගලයන් අදාළ සේවාව ලබාගත් බවට අත්සන් යොදා ඇති අතර ගලි බවුසර් පිටතට ගිය බවට ගේට්ටු අවසර පත්‍රවලද සඳහන්ව ඇතත් එහි ආදායම නගර සභා ගිණුමට අය වී නොමැති බව ද අනාවරණය වී ඇත.

ගලි සේවා ලබාදීමේදී නගරසභා සීමාව සහ ඉන් පිටත වශයෙන් ද, නිවාස සහ ව්‍යාපාරික වශයෙන් ද විවිධ අයකිරීම් යටතේ එම සේවා ලබාදුන්නත්, එය නිසි අධීක්ෂණ නිලධාරියකු යටතේ අධීක්ෂණයට ලක් වී නොමැති බවද අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ නාගරික කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා ඇති අතර, එහි පිටපත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට සහ මාතලේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාට යොමුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments