Friday, May 3, 2024
Homeදේශපාලනමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කෙටුම්පතට පෙත්සම් 50ක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කෙටුම්පතට පෙත්සම් 50ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්විණි.

එහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50ක් පමණ ගොනුකර තිබෙන බවයි.
 
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇතැයි සඳහන් කළේය. 

එම සංශෝධන අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා ‘කාරක සභා අවස්ථාවේ’ දී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන මොනවාදැයි නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර නොමැති බව සඳහන් කර සිටියේය. 

මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ විධානයන්ට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබේ නම්, රජය විසින් එය ඉල්ලා අස්කර ගත යුතු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා රජය විසින් සිදු කිරීමට යෝජිත සංශෝධනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(3) වගන්තිය උල්ලංඝනය නොවන බව සඳහන් කළේය.

එම සංශෝධන අන්තර්ගත පිටපතක් ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා විසින් අධ්‍යක්ෂණයට භාර දී ඇත.

ඉන් අනතුරු ව අදාළ සංශෝධන සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

“මෙම පනත් කෙටුම්පත යටතේ ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් පස් දෙනෙකු පත් කිරීමට පියවර ගන්නා බව එහි සඳහන් වෙනවා. එහෙත් එම සාමාජිකයන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බවට සංශෝධනය වෙනවා. ඒ වගේම එම කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි සංශෝධනය කෙරෙනවා” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දයාරත්න මහතා, අදාළ පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන ගණනාවක් ද අධිකරණය හමුවේ පැහැදිලි කර ඇත.

ඉන් අනතුරු ව පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවේ සංශෝධන නොව නව පනතක් බව සඳහන් කළේය.

මේ හරහා පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට තිබූ පැය තුනකට ආසන්න කාලය නීතිපතිවරයා විසින් ලබාගත් බවත් ඉන් පෙත්සම්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර තිබේ.

මෙවැනි සංශෝධනය සිදු කරනවා වෙනුවට මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට රජයට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සිතීමේ නිදහස් යන මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වීමක් සිදු වන බව සඳහන් කළේය.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙන බව සඳහන්ය. 

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්  කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 50ක් පමණ ඉදිරිපත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments