Saturday, April 27, 2024
Homeදේශීයඉන්ධන පෝලිමේ සිටින ජනතාවට විශේෂ නිවේදනයක් !

ඉන්ධන පෝලිමේ සිටින ජනතාවට විශේෂ නිවේදනයක් !

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව QR ක්‍රමවේදය අගෝස්තු මස 1 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදයන් එදිනෙන් පසු වලංගු නොවන අතර QR කේතය සහ කෝටා ක්‍රමය ආදේශ කරනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

QR ක්‍රමවේදයට අනුගත වු ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමට ප්‍රමුඛත්වය දෙනු ලබන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හරින ලද ඉන්ධන තොගවලින් QR කේතය භාවිත කර ඉන්ධන නිකුත් කිරීම නිරීක්ෂණය කර එම බෙදාහැරීම ඉදිරියේ දී සිදුකරනු ලබයි.

මේ අතර චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි වූ රථ වාහන භාවිත කරන්නන්ට හෙට (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

සියලුම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර, ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතු අතර ඒ අනුව ඉදිරියේ දී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකිය.

මේ අතර විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ ඔවුන් ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙස ද අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙයි.

මේ අතර රථ වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග එම සියලුම රථවාහන ලියාපදිංදි කළ හැකි බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබාදෙනු ලබන අතර, ඒ අනුව බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ලබාදී වෙන් කරනු ලබන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරනු ලබන කෝටාවක් අනුව බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරනු ලබන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් ඉන්ධන අවශ්‍යතා සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් පහසුකම් සැපයේ.

සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන්රථ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙනු ලබන අතර, ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය ලබාදෙනු ලැබේ.

මේ අතර එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාවක් ලබාදීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එය ඉදිරියේ දී එම පිරවුම්හල් වෙත ලබාදිය යුතු කෝටාව පිළිබඳ දැනුවත් කරන බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර, නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම, විකුණූම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේ දී ලබාදී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳ ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි වට්ස්ඇපි හරහා 0742 123 123 යන අංකය වෙත යොමු කළ හැකිය.

නැවත නැවත වැරදි කරන්නන් සඳහා QRප ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂිය භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

අවසන් වශයෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන්කර ඇති කෝටාව ලබාගැනීමට මුළු සතියක කාලක් තිබෙන බැවින්, සඳුදා දිනයේම ඉන්ධන පිරවුම්හලට එකතුවී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස ද ජනතාවට එම නිවේදනයෙන් දැනුම්දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments