Monday, May 20, 2024
Homeසියලුම පුවත්13 ඉදිරියට ගෙන යන්න එකඟ නම් පළාත් සභා ඡන්දෙට සූදානම් බලය බෙදීමේ...

13 ඉදිරියට ගෙන යන්න එකඟ නම් පළාත් සභා ඡන්දෙට සූදානම් බලය බෙදීමේ යෝජනා මැති සබයට ඉදිරිපත් කරමින් ජනපති කියයි

රටේ අනාගතය වෙනුවෙන් පොදු එකඟතාවෙන් යුතුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑමට පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයටත් සූදානම් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (8) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කළ ප්‍රකාශය මෙසේය:

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 13 වැනි සංශෝධනය මඟින් පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ 1987 අවුරුද්දේ. දැන් අවුරුදු 36ක් තිස්සේ පළාත් සභා ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මකයි. හැබැයි එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ වගේම පළාත් සභා පිළිබඳත් ගැටලු රැසක් තිබෙනවා. රටක් හැටියට ඉදිරියට යන්න නම් අප මේ ගැටලු නිරාකරණය කරගත යුතුයි. අපේ රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. ඒත් එසේ කළ හැක්කේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අප හැමෝම විවෘත සහ මැදහත් සිතින් යුතුව, ගැඹුරු සාකච්ඡාවකින් පසු එකඟත්වයකට පැමිණියොත් විතරයි.

“මධ්‍යම රජයත් පළාත් පාලන ආයතනත් අතර බලය සහ බලතල වෙන් වෙන්ව පැහැදිලි කර දී නෑ. ඒ නිසාම පළාත් සභාව සහ මධ්‍යම රජය අතර විෂයයන් අතර ගැළපීමක් නෑ; වැඩ කරද්දී එකිනෙක හැප්පෙනවා. එකම වැඩේ දෙතැනකින් සිද්ධ වෙනවා; වැඩ ප්‍රමාද වෙනවා; ගැටලු ලිහෙනවා වෙනුවට වැඩි වෙනවා. මම බලන්නේ පළාත් සභාවලට වෙන් කරන මුදලින් රු. බිලියන 5ක්වත් ඉතිරි කරගන්න පුළුවන් ද කියලයි. මේ වගේ හේතු නිසා පළාත් සභා සුදු අලියකු ලෙස හඳුන්වන පිරිසක්ද අපේ රටේ ඉන්නවා. හැබැයි ඒ සියලු අඩුපාඩු මැද ශ්‍රී ලංකාවේ දේශපාලන මඟ කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ ආයතන පද්ධතියක් ලෙස පළාත් සභා හඳුන්වන්න පුළුවන්. පළාත් සභා දක්ෂ දේශපාලන නායකයන් බිහි කිරීමේ තවානක් මෙන්ම විධායකයට සහ පාර්ලිමේන්තුවට අවතීර්ණ වීමේ ප්‍රවේශ මාර්ගයක්ද වී තිබෙනවා. පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් දේශපාලන ගමන් මඟ ඇරඹූ විවිධ පුද්ගලයන් රටේ විධායක ජනාධිපති ධුරයට, අගමැති ධුරයට, කැබිනට් මණ්ඩලයට, වෙනත් වගකිව යුතු තනතුරුවලට පත් වූ අවස්ථා ගණනාවක් අතීතයෙන් අපට සොයාගන්න පුළුවන්. අද මේ සභාවේ වාඩි වී සිටින මැති ඇමතිවරුන් අතර සැලකිය යුතු පිරිසක් පළාත් සභාවල මන්ත්‍රී ධුරයේ සිට මහඇමති ධුරය දක්වා විවිධ තනතුරු දැරූ අය.

“13 වැනි සංශෝධනය සහ බලය බෙදීම ගැන මගේ යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග මා දැන් මේ සභාවට ඉදිරිපත් කරනවා. එය ගැඹුරින් විමසා බලන්න. ඔබ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ සියලු අදහස් සැලකිල්ලට ගෙන, පළාත් සභාවල කාර්යභාරය සහ ඒවායේ අනාගතය පිළිබඳ අවසන් තීරණයට එළැඹීමේ වගකීම සම්පූර්ණයෙන්ම මේ ගරු සභාව සතුයි.

“පසුගිය කාලය පුරා පළාත් සභා සහ එහි අනාගතය පිළිබඳව ගැඹුරින් සලකා බැලුණු ලේඛන කීපයක් පාර්ලිමේන්තුව ආශ්‍රිත විවිධ කමිටු මගින් නිකුත් කර තිබෙනවා. මගේ සභාපතීත්වයෙන් පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව 2017 සැප්තැම්බර් 21 දින නිකුත් කළ අතුරු වාර්තාව ඉන් එකක්. ඒ අතුරු වාර්තාව මඟින් දුන් නිර්දේශයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ හැම පක්ෂයක්ම එකඟ වුණා. ඒ අතුරු වාර්තාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 5 වගන්ති සංශෝධනය පිළිබඳ නිර්දේශ දී තිබෙනවා. මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධන අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එසේම පහත දැක්වෙන කරුණු ක්‍රියාත්මක කළ යුතු බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා: පළාත් ලැයිස්තුවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී, පළාත් සභාවල සහභාගිත්වය ලබා ගැනීම, පළාත් ලැයිස්තුවේ ඇති විෂයයන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමෙන් මධ්‍යම රජයට විමධ්‍යගත බලතල පවරාගැනීමක් හෝ පළාත් සභාව මඟින් ක්‍රියාත්මක කරලීමට ඇති විධායක හා පරිපාලන බලතලවලට කිසිදු බලපෑමක් හෝ සිදු නොවීම, එකී විමධ්‍යගත විෂය ක්‍රියාත්මක කිරීමේ විධායක හා පරිපාලන බලතල පළාත් සභා වෙතම රැඳීම. පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සබඳතා පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ වාර්තාවත්, මධ්‍යම පර්යන්ත සබඳතා පිළිබඳ අනු කාරක සභාවේ වාර්තාවත් අපේ සැලකිල්ලට බඳුන් කළ යුතුයි. මේ ලේඛන සියල්ල මඟින්, පළාත් සභා ක්‍රමය අපේ පාලන ක්‍රමයෙන් ඉවත් කළ නොහැකි ආයතනික ව්‍යූහයක් ලෙස පිළිගෙන තිබෙනවා. ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස හෝ විමධ්‍යගත කිරීමේ ඒකකය ලෙස හෝ පළාත් සභා නොපිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය පවා පළාත් සභා ක්‍රමයේ සංශෝධනය විය යුතු කරුණු මෙන්ම සංශෝධනය නොවිය යුතු කරුණුද ඇති බව පිළිගෙන තියෙනවා. මේ සියල්ල ඔස්සේ යළි යළිත් තහවුරු වන්නේ පළාත් සභාව ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමයෙන් හෝ දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි ස්ථාවර සාධකයක් බවට පත්ව ඇති බවයි.

“සියලු දෙනාට එකඟ විය හැකි විසඳුමකට අපට එළඹීමට හැකියාව ලැබෙනවා නම් ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන එකම ජාතියක් ලෙස නැඟී සිටීමටත්, රටේ බලය මහජනතාව වෙත ළං වන ආකාරයට විමධ්‍යගත කිරීමටත් අපට අවස්ථාව සැලසෙනවා. පළාත් සභා ස්ථාපනය කළේ උතුරු හා නැඟෙනහිර පළාත්වල පමණක් නොවෙයි. ඒවා පළාත් නවයටම අදාළ වෙනවා. පළාත් සභා නිසි මඟකට යොමු කිරීමෙන් අතකින් ජාතික එකමුතුභාවය ආරක්ෂා වෙනවා. අනෙක් අතින් වඩාත් කාර්යක්ෂම, වැඩි සේවාවක් සැලසෙන ආයතන පද්ධතියක් ලෙස තහවුරු වෙනවා. එමඟින් බලය පොදු ජනතාවට ආසන්න වන ආකාරයට විමධ්‍යගත කිරීමට අවස්ථාව සැලසෙනවා. එනිසා පළාත් සභා ක්‍රමය මහජනතාවට යෝග්‍ය වන, මහජනතාවගේ අවශ්‍යතා ඉටු කරන, රටේ සංවර්ධනය සඳහා දායක වන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම අපගේ මූලික අරමුණක් විය යුතුයි. මේ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම උදෙසා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ගණනාවක් ඉදිරිපත් කිරීමටත්, නව ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටත් මා යෝජනා කරනවා. ප්‍රාදේශීය ලේකම්වරුන් පත් කිරීම, අධ්‍යාපනය සම්බන්ධ සේවා ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවට අවශ්‍ය බලය දීම, පළාත් සභා ලැයිස්තුවේ 3 වන උපලේඛනයේ සඳහන් වන පාසල් අධ්‍යාපනය පිළිබඳ සියලු බලතල ක්‍රියාත්මක කිරීම, වෘත්තීය හා තාක්‍ෂණික පුහුණු කටයුතු සම්බන්ධ සේවා වෙනුවෙන් පළාත් මණ්ඩල පිහිටුවීම, විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා පළාත් සභාවලට බලය දීම, කෘෂි නව්‍යකරණය සහ බිම් මට්ටමේ සියලු කෘෂි සේවා සැපයීමට පළාත් සභාවලටබලය දීම, පළාත් සංචාරක ප්‍රවර්ධන මණ්ඩල පිහිටුවීම, ජාතික වැදගත්කමකින් යුතු කර්මාන්ත සම්බන්ධයෙන් වන සීමාව රු. මිලියන 4 සිට රු. මිලියන 250 දක්වා ඉහළ දැමීමට කර්මාන්ත පනතට සංශෝධන එක් කිරීම (පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් මේ සීමාව රු. මිලියන 500 දක්වා ඉහළ නැංවීමට වුණත් අප සූදානම්), පළාත් සභාවලට බලය පවරා ඇති කාර්ය සමහරක් තවමත් මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක කෙරෙන බැවින් ඒ වරද නිවැරදි කිරීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම, මධ්‍යම ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව සෑම පළාත් සභාවක්ම තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කිරීම (මධ්‍යම රජයේ සංවර්ධන වැඩසටහන්ද තම තමන්ගේ බල ප්‍රදේශවලට අනුගත වන ආකාරයට මේ සැලසුමට ඇතුළත් කළ යුතුයි. මේ තුන් අවුරුදු සැලැස්ම දිස්ත්‍රික් සංවර්ධන සභා ඔස්සේ ක්‍රියාත්මක කිරීම සහ එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් සභා වෙත පැවරීම, මේ කාර්යයේදී ඒ ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් එකට එක්ව ක්‍රියා කළ හැකි නෛතික පරිසරයක් සකස් කිරීම.

“දැනට ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමි ලැයිස්තුව යළි අධ්‍යයනය කර, අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අප පියවර ගන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය මීට ගන්නවා. 1987 අංක 42 දරන පළාත් සභා පනත මඟින් පළාත් සභා අමාත්‍යවරයකු සතු වගකීම් මොනවාද, පළාත් අමාත්‍ය ලේකම්වරයකු සතු වගකීම් මොනවාද, අනෙකුත් නිලධාරීන් සතු වගකීම් මොනවාද යන්න නිශ්චිත ලෙස අර්ථ දක්වා නෑ. ඒ නිසාම යම් යම් වැරදි අවබෝධ, ගැටලු ඇති වෙනවා. ඒ නිසා ඔවුන් සතු බලතල නිශ්චිත කෙරෙන ආකාරයට පළාත් සභා පනතත් සංශෝධනය කළ යුතුයි.

“පළාත් සභා සම්බන්ධ මේ නීති සංශෝධන කරගැනීමෙන් හා නව නීති සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමටත් අප සූදානම්. දැනට මේ සම්බන්ධයෙන් යෝජනා තුනක් ඉදිරිපත් වී තිබෙනවා: දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය දීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම. මේ පිළිබඳවත් සාකච්ඡා කර එකඟතාවක් ගෙන පළාත් සභා ඡන්දය පැවත්වීමට අපි පියවර ගනිමු. පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට උපදේශක සභාවක් පත් කිරීම කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා. දැනට පළාත් සභා අමාත්‍යාංශ 45ක් ක්‍රියාත්මක වෙනවා. මේ අමාත්‍යාංශ සඳහා අධීක්‍ෂණ කමිටු පත් කිරීමටත්, වෙනත් වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒවායේ ප්‍රධානීන් ලෙස පත් කිරීමත් අපට කළ හැකියි.

“13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේදී වඩාත් සංවේදී විෂයයක් බවට පත්ව ඇත්තේ පොලිස් බලතල. ඒ නිසා මා යෝජනා කරන්නේ අප මුලින්ම අනෙක් බලතල පිළිබඳ එකඟත්වයකට පැමිණීම වඩාත් ප්‍රායෝගික බවයි. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු. සංවේදි විෂයයන් සඳහා මූලිකත්වය දුන්නොත්, සමහර විටක කිසිදු එකඟත්වයකට එළැඹෙන්න අපට අපහසු වේවි. ඒ නිසා අපි මුලින්ම අනෙකුත් බලතල විමධ්‍යගත කිරීම ගැන කතා කර, පොදු එකඟත්වයකට එළැඹෙමු. එහිදී බලතල විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් දකුණේ මහ ඇමැතිවරුන්ගේ වාර්තාව පදනම් කරගන්නත් අපට පුළුවන්. හැම ක්‍රියාවක්ම පොදු එකඟත්වයට අනුව සිදු කරමු. රටේ අනාගතය වෙනුවෙන් එකට එක්ව පොදු තීරණ ගැනීමට මේ පාර්ලිමේන්තුවට ශක්තිය සහ බුද්ධිය ඇති බව පෙන්වා දෙමු.”

(ඉක්බිති ඉංග්‍රීසි භාෂාවෙන් කළ කතාවේ සිංහලානුවාදය මෙසේය:)

“රට තුළ අත්‍යවශ්‍ය තිරසර ජාතික සංහිඳියාව සුරක්ෂිත කිරීමට උතුරේ හා නැඟෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දෙමින්, කිසිදු දේශපාලන අභිප්‍රේරණයකින් තොරව ප්‍රගතිය කරා ගමන් කිරීම මගේ අරමුණයි. සංහිඳියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට කිසිදු සැකයක් නෑ. උතුරු හා නැඟෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මා පසුගියදා පැවැත්වූ රැස්වීමේ අරමුණ වූයේ මෙයයි. එය රජය ගෙන යන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අඩිතාලමක් වන බැවින් එහිදී සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව මේ උත්තරීතර සභාවේ සාමාජිකයන් දැනුම්වත් කිරීම වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ තත්ත්වය මත, ජාතික සංහිඳියාව සඳහා බලපාන ගැටලු සම්බන්ධයෙන් අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කරන අතර, එය දැන් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වනවා.

“ප්‍රතිත්‍රස්ත පනත: පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සුදුසු කටයුතු සිදු කිරීමෙන් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කරනු ඇත. දූෂණ විරෝධි පනත: දූෂණ විරෝධි පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් යෝජනා කරන ලද සංශෝධන සහිතව නමුත් ඡන්දය විමසීමකින් තොරව පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත වීම ගැන මම සතුටු වෙමි. එය දැනටමත් ගැසට් කර ඇත. සත්‍ය සෙවීමේ යන්ත්‍රණය සහ පනත: සත්‍ය සෙවීමේ යන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය පිහිටුවා ඇති අතර, ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර තිබේ. මීට අමතරව නීති හා ප්‍රතිපත්ති, මහජන සම්බන්ධතා සහ තොරතුරු තාක්ෂණය ආවරණය වන පරිදි අංශ තුනක් ස්ථාපිත කර ඇත. අදාළ නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව විධිමත් යන්ත්‍රණයන් ආරම්භ වන තුරු, විශේෂයෙන් පාර්ශ්වකරුවන්ගේ උපදේශන, කෙටුම්පත් මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති සැකසීම සඳහා ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රධාන මාණ්ඩලික තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම සිදු කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සේවා අඛණ්ඩව සිදු වෙමින් පවතින අතර, අවසන් වූ වහා ඊට අදාළ නීති රාමුව සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමට නියමිතයි. ජාතික සමඟිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත: ONUR නීති කෙටුම්පතෙහි ව්‍යවස්ථාපිතභාවය සහතික කිරීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එය පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මීට අමතරව, ONUR විසින් කෙටුම්පත් කර ඇති සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරි සැලැස්ම ඉදිරියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. වන්දි ගෙවීමේ කාර්යාලය: උතුරු නැඟෙනහිර පැවති යුද ගැටුමෙන් අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනකු සඳහා 2023 ජූලි වන විට රු. මිලියන 40.6ක් ගෙවා ඇති අතර, ඒ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙමින් පවතී.

“අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP):උතුරු නැඟෙනහිර ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව මා යළිත් අවධාරණය කරනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිලි 21,374න් 3,462ක විමර්ශන මේ වන විට අවසන් කර ඇත. ඉතිරි පැමිණිලි සඳහා විමර්ශන ප්‍රගතියක් ලබන අතර, සත්‍ය සෙවීමේ යන්ත්‍රණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමෙන් පසු මේ ක්‍රියාවලිය වේගවත් විය හැකියි. අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සොයන ඒ අය සවිස්තරාත්මක තොරතුරු අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා දැන් සුදුසු කාලය එළැඹ තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. තවද, මාස තුනක් ඇතුළත එය අවසන් කිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරමින් සිටී. අතුරුදන් වූවන් සඳහා සහතික නිකුත් කිරීම (Certificate of absence) කඩිනම් කරමින් පවතී. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව නඩු හැසිරවීමේ ප්‍රතිපත්තියක් මත කටයුතු කරමින් සිටින අතර, පෙර කොමිෂන් සභා සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිලි ඵලදායි ලෙස කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් මාර්ගෝපදේශ කෙටුම්පත් කර ඇත. ඒ මාර්ගෝපදේශ සඳහා අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලබාගැනීමට බලාපොරොත්තු වේ. නව කමිටු 10ක්ද සමග මුළු කමිටු 24ක් සහිත අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, යොමු කිරීමේ සේවා සඳහා එක් දිස්ත්‍රික්කයකට සම්පත් දායක කණ්ඩායමක් බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇත. හානිපූර්ණ හා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල සමඟ අදාළ ගැටලු ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පූර්ණ නිදහස් අවකාශයක් සලසා තිබේ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල දැනටමත් එහි වැඩ විෂයපථයට අදාළව ඔවුන්ගේ කාල රාමු දක්වා ඇත.”

මෙහිදී ජනාධිපතිවරයා එල්ටීටීඊ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිරකරුවන්ට ජනාධිපති සමාව දීම, ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම, ඉඩම් ගැටලු නිරාකරණය, ජාතික පුරාවිද්‍යා සැලැස්ම, දකුණු ඉන්දියාවේ පුනරුත්ථාපන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මාර්ග සිතියම, උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර අවතැන් වූවන් (අභ්‍යන්තර අවතැන් වූවන්) නැවත පදිංචි කිරීම, ත්‍රිවිධ හමුදාව විසින් නිදහස් කිරීමට නියමිත ඉඩම්, උතුරු නැඟෙනහිර සංවර්ධන සැලසුම්, ‘උතුරට ජලය‘ වැඩසටහන, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම, මහවැලි දකුණු ඉවුරේ A සහ B කලාප විවෘත කිරීම යන තේමා ඔස්සේ තම සැලසුම්ද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

“අද අප මේ පසු කරමින් සිටින්නේ කඩාවැටුණු ආර්ථිකයක් යළි ඔසවා තැබීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක්. මේ අප ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත් කරගත යුතු කාලයක්. එවන් ශීඝ්‍ර සංවර්ධනයක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමවේදය යටතේ අත් කරගැනීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. 1977දී ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ අපේ රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. එහෙත් යුද්ධය නිසා ඒ සංවර්ධනය අඩාළ වුණා. මේ රටේ සෑම පුරවැසියකුම යුද්ධය නිසා පීඩාවට පත් වුණා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලයේ යුද ගැටුමේ අවසානයක් දකින්න අපට හැකි වුණා. දැන් යුද ගැටුම් අවසන් වී අවුරුදු 14ක්. හැබැයි බලය බෙදීම සහ පළාත් සභා ප්‍රශ්න විසඳාගන්න අප තාමත් අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා අප සියලු දෙනා ජාතියක් විදිහට එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරමු. අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුත්තේ අප විසින්මයි. වෙනත් රටකට හෝ බාහිර පාර්ශ්වයකට අපේ ප්‍රශ්න විසඳන්න බැහැ.

“මා ජනාධිපති ධුරයට පත්ව ගත වූ වසරක කාල පරිච්වේදය තුළ පාරදෘශ්‍යභාවය, වගවීම, වගකීම සහ යහපාලනය තහවුරු කෙරෙමින් ක්‍රම වෙනස්කම් (System Changes) ගණනාවක් හඳුන්වා දුන්නා. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙස වෙනත් කිසිදු පාර්ශ්වයකින් ප්‍රබල බලපෑමක් නොතිබුණු අවස්ථාවක මම 21 වැනි සංශෝධනය මේ සභාවට ඉදිරිපත් කර, එය සම්මත කරගත්තා; එමඟින් ජනපති ධුරයේ බලතල අඩු කළා; මැතිවරණවලදී සිදු වන මූල්‍ය ඇතුළු විවිධ අවභාවිතයන් වළක්වාලීමට මැතිවරණ වියදම් පාලන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත්තා; අපේ රටට පිළිලයක් වී ඇති දූෂණ සහ වංචා වළක්වාලීම සඳහා ක්‍රියාත්මක වූයේ දුර්වල සහ දුබල පනතක්. මම ඒ වෙනුවට ඉතා ප්‍රබල සහ ශක්තිමත් මෙන්ම, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ගැළපෙන දූෂණ විරෝධි පනත මේ සභාවට ඉදිරිපත් කර සම්මත කරගත්තා; ආණ්ඩුවල අවශ්‍යතා මත, වගකීම් විරහිතව රටේ මූල්‍ය පාලනය අයාලේ යෑම වළක්වාලීම උදෙසා මහ බැංකු ස්වාධීනතා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත්තා. පසුගිය තරුණ විරෝධතාවලදී ක්‍රම වෙනසක අවශ්‍යතාව දැඩිව අවධාරණය කෙරුණා. අපේ රටේ බහුතර ජනතාවත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටිනවා. මා පෙර සඳහන් කළ පියවර සියල්ලෙන් අප කළේ ක්‍රම වෙනසකට මුලපිරීමයි. පළාත් සභා සම්බන්ධයෙන්ද අප මේ ක්‍රම වෙනස සිදු කළ යුතුයි. ඊට අදාළ මගේ යෝජනා සහ ක්‍රමවේදයන් මා දැන් ඉදිරිපත් කළා. මෙතැනින් ඉදිරියට යෑමේ පියවර ගැනීමේ පූර්ණ බලතල ඇත්තේ මේ ගරු සභාවේ ඔබටයි. රටේම අවශ්‍යතාවක් සාර්ථක කරගැනීමට මේ පාර්ලිමේන්තුවට ශක්තිය මෙන්ම පුළුල් දැනුමක් ඇති බව තහවුරු කිරීමට එක් වන ලෙස මේ ගරු සභාවෙන් මා ඉල්ලා සිටිනවා.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments