Tuesday, May 7, 2024
Homeදේශීයබොන්නට වතුර ඉල්ලන සුනාමි ගම් වැසියෝ

බොන්නට වතුර ඉල්ලන සුනාමි ගම් වැසියෝ

දින ගණන් එක දිගට කොතරම් වැස්සත් බොන්න වතුර ටිකක් නැතුව කොස්ගොඩ පැලෑගස්පළාත ‘කුරුඳු ගම් පියස‘ සුනාමි ගම්මානයේ ජනතාව මහත් දුකට පත්ව සිටී.

වැසී ගිය පැලෑගස්පළාත විදුහල් භූමියේ නිවාස විසි පහකින් සමන්විත මෙම ගම්මානය සුනාමියෙන් උන් හිටි තැන් අහිමි වූ බලපිටිය ජනතාව වෙනුවෙන් ඉදිකර ඇතත් ඔවුනට බොන්න වතුර ටිකක් නැතුව අපා දුක් විඳින්නට සිදු වී ඇතැයි ජනතාව පවසයි.

මේ පිළිබඳව අදහස් දැක් වූ 56 හැවිරිදි එස්. කේ. ලලිතා මහත්මිය මෙසේ පවසා සිටියේය.

“අපි හිටියේ බළපිටියේ දේවාල පාරේ. සුනාමියෙන් ගෙවල් විනාශ වූ පසුව අපි මේ ගම්මානයට ගෙනැවිත් දැම්මා. එහෙත් කිසිම පහසු කමක් නැහැ. නිතර යන්න එන්න බස් එකක් නැහැ. වෙලාවට විතරයි බස් වැඩ කරන්නේ. බොන්න වතුර ටිකක් නැහැ. ළිඳක් කපන්න ගියොත් බඹ ගණනක් ගැඹුරට කපන්න වෙනවා. එසේ කැපුවත් ඒ වතුර බොන්න බැහැ. වතුර ගේන්න කිලෝ මීටරයකට වඩා දුර යන්න වෙනවා. ත්‍රීවීල් එකක් අරගෙන යන්න වෙනවා. ඒකට ගාස්තු ගෙවන්න ගියාම කන්න විදියක් නැහැ. අපි සුනාමියට හසුවෙලා මැරිල ගියා නම් හොඳයි කියල හිතෙනවා.“

“අපි මේ ගම්මානයට ඇවිත් අවුරුදු 17ක් වෙනවා. සිංහ සමාජයෙන් හදල දුන්නේ. ඒ කාලයේ සෑම ගෙදරකටම ටැප් පවා සවිකර තිබුණා. අවුරුද්දක් විතර යන විට මෝටරය කැඩිල ගියා. දෙපාරක් හැදුවා. තුන් වැනි පාර මෝටරය හදන්න කියල ගෙනිච්චා. තවමත් ගෙනාවේ නැහැ. දැන් අවුරුදු ගණනක් වෙනවා. බලධාරීන්ට කිව්වත් වැඩක් වුණේ නැහැ” යයි 57 හැවිරිදි බී. වී. ප්‍රේමලාල් මහතා පවසා සිටියේය.

පාසල් ගුරුවරියක් වන 45 හැවිරිදි බී. ඩී. නිමල්කා මහත්මිය පවසන්නේ “2006 වසරේ සිට අපි මේ ගම්මානයේ ඉන්නේ. වර්ල්ඩ් විෂන් ආයතනයෙන් වතුර ටැංකියක් හදල දුන්නේ. මෝටරය කැඩී වසර ගණනක් වෙනවා. දිනපතා රැකියාවලට සහ පාසල් යන දූ දරුවන් විශාල පිරිසක් ඉන්නවා. මූලික අවශ්‍යතාවයක් වන වතුර නැතුව ජීවත් වෙන්න බැහැ. ජනතාව ගෙනැවිත් පදිංචි කළානම් පහසුකම් සැපයිය යුතුයි. සුනාමියට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වී තිබෙනවා”

හිටපු බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී උෂාන්ත මැන්දිස් මහතා අදහස් දක්වමින් “මේ ගම්මානයේ ටැංකි තිබුණත් වතුර නැහැ. මේ ගම්මානයට මෝටරයක් සවිකර දෙනවනම් ලොකු පිනක්. මේ අය මුහුද ආසන්නයේ හිටියනම් මුහුදෙන්වත් නාන්න තිබුණා. දෙසැම්බර් මාසේ විසිහය වැනිදට පැරෑළියට ගිහින් ලොකු මල් වඩමක් තියනවට වඩා මේ ගම්මානයට ඇවිත් මෝටරයක් සවි කරල වතුර දෙනවනම් ලොකු පිනක් සිදුවෙනවා.”

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ප්‍රධාන සංවිධායක, රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතා බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දි පවසා සිටියේ සුනාමි ගම්මානවලට වතුර දෙන්න පියවර ගත් බවත්, ඒ සඳහා බට පවා ගෙනැවිත් තිබෙන බවත් මුදල් ප්‍රශ්නය නිසා මඟ ඇනහිටිය බවත්ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments